කලු ජනවාරියේ වින්දිතයන්ට යුක්තියක් නැද්ද?

තවත් කලු ජනවාරියක මතකය අතීතයට එකතු විය.මේ වෙනුවෙන් සැමරුම් සම්මන්ත්‍රණ කීපයක්ම පැවැත්වුණි. ඝාතනයට හා අතුරුදහන්වීමට ලක්වූ ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ, සුගීතදාසන් වැනි මාධ්‍ය කරුවන් සිහිපත්  කිරීම  මෙම සැමරුම්වල ප්‍රමුඛ අරමුණ විය.

                  ජනවාරියට කලු පැල්ලමක් එකතුකළ ඝාතනයට ලක්වූ මෙම මාධ්‍යකරුවන්ට එල්ලවූ සහාසිකත්වය ඉන් නොනැවතී කීත් නොයාර්, පොහොද්දල ජයන්ත වැනි මාධ්‍යකරුවන් වෙත යොමු වූ අමානුෂික ප්‍රහාරයක් දක්වා දිග හැරුණි.මාධ්‍ය ආයතනවලට එල්ල කෙරුණු ප්‍රහාර, මාධ්‍යවේදීන් බියවැද්දවීම් එකිනෙකට බැදුණු සිද්දි ගණනාවක් මීට ඇතුලත්ය. මෙය රාජපක්ෂ පාලන යුගයේ පැවති තවත් පැතිකඩක නිරූපණයකි.

                  කලු ජනවාරියෙන් පරිබාහිරව, මාධ්‍යවේදීන් සහාසිකත්වයට ගොදුරුවූ අවස්ථා තිබුණි. ඉදිරියේදීද ඇති විය හැක. නමුත් කලු ජනවාරියෙන් ඇරඹි කෲරත්වයේ එක්තරා විශේෂත්වයක් තිබුණු බව පැහැදිලිය. එකිනෙකට බැඳුණු නිශ්චිත රටාවක් එහි තිබුණි. ඊට මුහුණදුන් මාධ්‍යකරුවා අනතුරට මුහුණපෑමේ පසුතලයේ සමානතා පැවතුණි. පරීක්ෂණවලදී සාධක හඳුනාගැනීමේ අපහසුතාවයන් හා වෙනත් මූලාශ්‍රයන් වෙත සැක මුසු අනුමානයන් ඇතිවන අවස්ථා බහුලය. මෙම මාධ්‍යකරුවන් විසින් නිරාවරණය කරන ලද , එක පෙළට සිදුවූ වංචා, දූෂණ හා අමානුෂික ක්‍රියාද රාශියකි.

                    මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණදුන් මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය, සාධාරණය මෙතෙක් ඉටු නොවීම අතිශය ඛේදනීය තත්ත්වයකි. ඒ වෙනුවෙන් සැළකිය යුතු ඉදිරි ක්‍රියාමාර්ගයක්ද මෙතෙක් දියත්වී නොමැත.

                  මොවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු සහගතව සිටි පසුගිය යහපාලන රජය යම් ඉදිරි පියවරක් තැබුවද එය අධිකරණ ක්‍රියාවලියකට පමණක් සීමාවිය. එමගින් යම් නිශ්චිත තොරතුරු ජන සමාජය වෙත සංනිවේදනය වූවා පමණි.

             ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ තොරතුරු හඳුනාගැනීමේ අවසන් ප්‍රවේශයේදී, බුද්ධි අංශ නිළධාරීන් වෙත පරීක්ෂණ යොමුවිය. එහිදී රණ විරුවන් අපහසුතාවයට පත් නොකරන ලෙස එවක යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග නිකුත් විය. අගතියට පත් අනිකුත් මාධ්‍යවේදීන්ගේ පරීක්ෂණවල තත්ත්වයද එයයි. කෙසේවුවද අතිශය අමානුෂිකත්වයට ගොදුරුවූ මෙම මාධ්‍යකරුවන්ට යුක්තිය, සාධාරණය නුදුරු අනාගතයේදී ඉටුවනු ඇතැයි විශ්වාස කළ නොහැක. ජනතාව වෙත සත්‍ය ළඟාකිරීමේ තීරණාත්මක කාර්ය වෙනුවෙන් මොවුහු මෙම ඉරණමට මුහුණ දුන්හ.

                 මාධ්‍යයේ නිවැරදි කාර්ය භාරය ජන සමාජය වෙත ප්‍රවේශ කළ මෙම මාධ්‍යකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සමාජීය වගකීමකි.සැමරුම්වලින් ඉදිරියට ගිය සුවිශේෂී කාර්යයක් මොවුන් වෙනුවෙන් ඉටුවිය යුතුව ඇත.

 ප්‍රියන්ත සිල්වා  

 මොරටුව 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *