හඳපාන් විල්ලුව අලි මංකඩ ඩෝසර් වීම අභියස…

වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත අනුව ජාතික උද්‍යාන, දැඩි ස්වාභාවික රක්ෂිත, ස්වාභාවික රක්ෂිත, වන පිවිසුම්, සමුද්‍රාසන්න අභය භූමි හා සීමාන්තරික කලාප ආරක්‍ෂිත ප්‍රදේශ ලෙස නම් කර ඇත.

මින් ජාතික වනෝද්‍යාන යනු ජාතික වැදගත්කමකින් යුතු සුවිශේෂී ආරක්ශිත සංවේදී කලාප ලෙස සංරක්ෂණය වන අවම මැදිහත්වීම් මත සතුන් නැරඹීමට පමණක් මහජනතාවට අවස්ථාව සලසා දී ඇති පරිසර කලාප වේ .මෙහි පාලනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පවතී.ජාතික උද්‍යානයක්‌ සතු සජීවී හා අජීවී සම්පත් සියල්ල වනජීවී ආඥා පනත යටතේ ආරක්ෂිත වේ. ඒ තුල සිදුවන අවනීතික ක්‍රියාකාරකම් වනජීවී ආඥා පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදවල් වේ.

එලෙස නීතියෙන් ආරක්‍ෂිත අති සංවේදී ජාතික වනෝද්‍යානයක් වූ ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය වර්තමානයේ ප්‍රාදේශීය බලවත් දේශපාලනික හස්තයන්ගේ බලපෑම් හේතුවෙන් එහි වන ජීවිය ඇතුළු පරිසර පද්ධතියම අනතුරේ හෙලමින් පවතී.

මෙම වනෝද්‍යානය මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පිහිටුවනු ලැබුවේ 1984 අගෝස්තු 7දා අංක 309/4 දරන ගැසට් නිවේදනය යටතේය. එහි විශාලත්වය හෙක්ටයාර් 17350කි. මහවැලි ගඟේ පිටාර තැනිතලාව ආරක්ෂා කිරීම එය ප්‍රකාශ කිරීමේ අරමුණ විය. නරඹන්නන්ට යාමට පවා අවසර දී නැති මේ වන කලාපය වල් අලින්ගේ තෝතැන්නක් ලෙස සැලකේ. කඩිනම් මහවැලියට එළිකළ වනාන්තර නිසා අවතැන් වූ වනසතුන්ට රැකවරණය සැලසීමට මෙම වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන හතරක් ප්‍රකාශ කෙරිණි. වනෝද්‍යානයක් ලෙස පවත්වාගෙන යාමට අමතරව මහවැලි ග‍ඟේ ජලය වැඩි කාලයට ඒ ජලය ගලා යාමට ඉඩකඩ සැලසීමයි.

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පවත්නා විල්ලු නිසා ඒ ප්‍රදේශය අලින්ට ඉතා යෝග්‍යවේ. අලින් හා කෙනර සතුන් බහුලව එකට හමුවෙන මේ ජල ගැලුම් නිම්න ජාතික වන උයනේ විල්ලු 38 කි. ඉන් හඳපාන් විල්ලුව හා බැණ්ඩිය විල්ලුව විශාල වැව්වලට සමාන විල්ලු ලෙස වන ජීවියේ පැවැත්ම උදෙසා වටිනාකම් රාශියක් සපයය්.

දැන් නවතම විනාශය ලෙස ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යාන සතු ඉහත හදපාන් විල්ලුව වෙත වන අලි ප්‍රවේශ මාර්ගය අවහිර වන සේ භුමිය ඩෝසර් මගින් විනාශ කිරීමට සියළුම කටයුතු මේ වන විටත් සුදානම් කර ඇති බව වාර්තා වේ.

මෙරට ඇති අලින්ගේ වාසයට සුදුසු හා සුවිශේෂී ජාතික උද්‍යානය දෙකඩ කරමින් මාර්ගයක් ඉදිකිරීමට එම ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයෝ  නීතිය අභිබවමින් උත්සාහයක නිරත වීම පසු ගිය මාස කිහිපය පුරා කතා බහට ලක්‌ විය. එලෙසම ගවයන් ඇතුළු කිරීම සහ අවනීතියට එරෙහිවූ වන ජීවී නිලධාරීන් සමග වනජීවී ඇමැති වරයා ගැටුමක් ඇති කර ගැනීමත් බොහෝ මාධ්‍ය වාර්තා කරන ලදී.

සෝමාවතිය මාදුරුඔය වස්ගමුව ආදී ප්‍රධාන වනෝද්‍යාන හරහා ආහාර සහ අලි පරපුරේ පැවැත්ම රැදී ඇති ලිංගික ක්‍රියා කාරකම් සදහා විවර වී ඇති ප්‍රධාන අලි මංකඩවල් දෙකඩ කර අවහිර කරමින් චන්ද බලය උදෙසා අත්තනෝමතිකව සිදු කරන මෙම ක්‍රියාවලිය නවතා දැමීමට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම යොමු කිරීම අනාගත පරපුර උදෙසා ජනතාවගේ වගකීම වනු ඇත.

උපුටා ගැනීම Thushara Palliyaguruge ගෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *