හුදෙකලා නොවූ නිම්නය

සිරකරුවෝ මනුෂ්‍යයෝය. ඔවුන්ට මිනිසුන් ලෙස සලකන්නේ කවදාද?


වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේත්, වෙනත් සියළු බන්ධනාගාරවලත් කාටත් පේන්නට ලොකු අකුරින් සවිකර ඇති සිරකරුවෝ ද මනුෂ්‍යයෝය කියන පාඨය අරුත් කීපයක් දනවනව. සිරකරුවන් දෙස මානුෂීය ලෙස බලන්නට සමාජය යොමු කිරීම අරමුණු කරගෙන එය යොදාගන්න ඇති බව තමයි මුලින්ම පෙනීයන්නෙ. ඒත් අප කවුරුත් දන්නව සිරකරුවො කියන්නෙ අප අතරම ඉන්න මිනිසුන් කොටසක් බව. එහෙනම් හිරකරුවන් මනුෂ්‍යයන්ය කියල අමුතුවෙන් කියන්න ඕනද? 

ඇත්ත කාරණය නම් අපේ රටරටේදි ඒ බව අමුතුවෙන් කියලත් වැඩක් නැහැ යන්නයි. සාමාන්‍ය ජනයා දන්නව සිරකරුවන් මනුෂ්‍යයන් කියල. ඒත් මෙරට පාලකයන් කවදාවත් සිරකරුවන්ට මනුෂ්‍යයන් විදියට සැලකුවෙ නැහැ. සිරකරුවන් නොමිනිසුන් පිරිසක් ලෙස සලකල, ඔවුන්ට එක අඅතකින් දස වද දෙමින්, ඔවුන් තමන්ගෙ අත පල්ලෙන් වැටුනු අතවැසියන් ලෙසින් සලකමින් තමයි බන්ධනාගාර පාලකයන් කටයුතු කළේ. බන්ධනාගාරයක සතියක් හෝ හිටපු ඕනම කෙනෙක් ඒ බව කියයි. ඒ නොමිනිසුන් ලෙස සැලකීම කොතරම් දුරට යනවද කිව්වොත් සිරකරුවන් මරාදැමීම දක්වා ඒක විහිදෙන්න පුළුවන්. රටේ පාලකයන්ට සිරකරුවන් මරාදැමීම නොතකා හැරිය යුතු මට්ටමේ සුළු දෙයක්.

සිරකරුවන් බන්ධනාගාර තුළදී මරාදැමීම දැන් වසර 40කට ආසන්න කාලයක් තිස්සේ සිදු කර තිතිබුණත් මහර බන්ධනාගාරයේ ඝාතන සමග තමයි මේ කාරණය සමාජයේ ඉස්මත්තට ආවෙ. මොකද මේ ඝාතනය කරල තියෙන්නෙ ජීවිතය දෙන්න කියල ඉල්ලුව සිරකරුවන් පිරිසක්. කොවිඩ් 19 වෛරසය තම සිරගෙය තුළ පැතිර යාමට පටන්ගෙන තිබූ නිසා එයට ගොදුරු වී මියයනු වෙනුවට PCR පරීක්ෂණ පවත්වා ආසාදිතයන් සිටීනම් හඳුනාගෙන තම ජීවිත බේරදෙන්න කියල ඉල්ලුව රැඳවියන් පිරිසකට තමයි මේ වෙඩි තියල මරල දාල තියෙන්නෙ.

අපේ රටේ බන්ධනාගාර තුළදී රැඳවියන් ඝාතනය කිරීම එක අතකට අලුත් දෙයක් නෙවෙයි. 1983 ජූලි 25 සහ 27 දෙදින  වැලිකඩ බන්ධනාගාරය තුළදී දෙමළ සිරකරුවන් 56 දෙනකු අමු අමුවේ මරා දැමීමෙන් ඇරඹි මේ ඝාතන රැල්ල විටින් විට මතුවුනේ ජාතිවාදයත් සමග මුහුවෙලායි. එදා මේ සිරකරුවන් මරාදමා තිබුණේ ඇස් උගුල්ලා, අතපය කපාදමා හිතන්නටවත් බැරිතරම් අමානුෂික විදියටයි. මේ ඝාතන බන්ධනාගාර පාලනාධිකාරියේ අනුදැනුම උසිගැන්වීම මත සිදුකර තිබුණේ එහි සිටි සිංහල සිරකරුවන් විසින් බව ප්‍රකට කරුණක්. ඒ ඝාතන ඉතා පැහැදිලිවම හිතාමතා කළ මිනීමැරුම්. ඒ වුනත්, එයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීමට ලෙහෙසියෙන්ම්ම පුළුවන්කම තිබුණත් කිසිම විටෙක ඒ සම්බන්ධයෙන් අපරාධමය පරීක්ෂණයක් කෙරුනෙ නැහැ.


ඊට පසුත් රැඳවියන්ට පහරදීමේ සිදුවීම් තිබුණ වුනත් ඒව සුළු සිදුවීම් හැටියට සලකා ඒවා යටපත් වුනා. 1997 දෙසැම්බර් 12දා කලුතර බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් තිදෙනකු සිංහල සිරකරුවන් විසින් කපා කොටා පහරදී ඝාතනය කර තිබුණා. මෙහිදීත් මේ ඝාතන සිදුකොට තිබුණේ බන්ධනාගාර නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය සහ ආවරණය යටතේයි.


නැවතත් කලුතර බන්ධනාගාරයේදීම දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනකු ඝාතනය කරනු ලැබුවා. ඒ 2000 වසරේ ජනවාරි 6දායි. එවර කෙලින්ම බන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීම්වලින්. තවත් 85 දෙනකු තුවාල ලැබුවා.


1983න් පසුව සිදුවූ එවැනි ප්‍රධාන සිද්ධිය වුනේ 2000 වසරේ ඔක්තෝබර් 24දා බණ්ඩාරවෙල බිඳුණුවැව පුනරුත්ථාපන කඳවුරක රඳවා සිටි දෙමළ රැඳවියන් 29දෙනකු ඝාතනය කිරීමයි. මෙහිදී පහරදීම් සිදුකොට තිබුණේ අවට ගම්වාසීන් විසින්. මෙම කඳවුරේ පාලනය සහ ආරක්ෂාව භාරව තිබුණේ යුධ හමුදාවටයි. දෙමළ රැඳවියන්ට පහරදීම සඳහා එහි සිටි හමුදා නිලධාරීන් පූර්ණ සහයෝගය ලබාදී තිබුණා. ගම්වැසියන් පිරිසක් විසින් කඩු, කැති, මන්නා සහ පොලුවලින් පහරදී තමයි මේ ඝාතන සිදුකොට තිබුණේ. මරාදැමුනු 29 දෙදෙනාට අමතරව තවත් රැඳවියන් විශාල පිරිසකට පහරදී තුවාල සිදුකොට තිබුණා.


මේ පහරදීම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් සෑහෙන පරීක්ෂණයක් සිදුකෙරුනා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ගම්වැසියන් සහ හමුදා නිලධාරීන් කීපදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පවරනු ලැබුවා. මේ චූදිතයන් මේ ඝාතන සම්බන්ධයෙන් වරදකරුවන් බවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළා. එම තීතීරණයට එරෙහිව චූදිතයන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ අතර අභියාචනා විභාගයෙන් අනතුරුව මහාධිකරණයේ තීන්දුව ඉවත දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය චූදිතයන් සියළු දෙනාම නිදොස් කොට නිදහස් කිරීමට නියම කළා. මේ අනුව බන්ධනාගාරයක සිදුවූ ඝාතන සහ පහරදීම් සම්බන්ධයෙන් නඩු විභාගයක් කෙරුනු එකම අවස්ථාවෙදිත් සැකකරුවන් දඬුවම් නොලබා බේරීගියා.


දෙමළ දේශපාලන සිරකරුවන්ට පහරදීම සහ ඝාතනය කිරීම දිගින් දිගටම සිදුවුනා. 2012 ජූනි 28දා වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ දේශපාලන සිරකරුවන් පිරිසක් ඉල්ලීම් කීපයක් ඉල්ලා කළ උපවාසයක් අතරතුර ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝග මත විශේෂ කාර්‍ය බලකායේ සෙබළුන් එහි කඩාපැන පහරදීමක් සිදුකළා. ඔවුන් එහි සිටි දෙමළ සිරකරුවන් 34 දෙනා වෙන්කොට ගෙන ඔවුන්ට පොලු, මුගුරු, ආදියෙන් පහරදී අතපය කඩා, ඔළු පලා බරපතළ තුවාල සිදුකළා. ඉතාම බරපතළ ලෙස තුවාල ලැබූ නිමලරූබන් නමැති දේශපාලන සිරකරුවා ජූලි 2දා මියගියා. දිල්රොක්ෂාන් කියන තවත් දේශපාලන සිරකරුවෙක් මාසයකටත් වැඩි කාලයක් සිහි මූර්ඡා තත්වයෙන් සිට අගෝස්තු 8දා මියගියා. මෙම පහරදීම සහ ඝාතන එම අවස්ථාවේදී රට තුළත් ජාත්‍යන්තරවත් සෑහෙන අවධානයට සහ විරෝධයට ලක්වුනා.

 
බන්ධනාගාර තුළ රැඳවියන් ඝාතනය එයින් නැවතුනේ නැහැ. එම වසරේම නොවැම්බර් 9දා වැලිකඩ බන්ධනාගාරය තුළ අතිශය දරුණු ඝාතන රැසක් සිදුවුනා. බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය සෙවීමේ මුවාවෙන් නීති විරෝධී ලෙස එහි ඇතුළු වූ විශේෂ කාර්‍ය බලකා සෙබළුන් රැඳවියන්ට අවමන් සහගත ලෙස සැලකීමට විරෝධය පළ කිරීම සඳහා රැඳවියන් පිරිසක් එදින දහවල් කාලයේ සිට වැලිකඩ හිරගෙදර වහලය උඩට නැගී විරෝධය පළකිරීමට පටන් ගත්තා. නවීනතම රිපීටර් තුතුවක්කුවලින් සන්නද්ධ හමුදා භටයන් තමන් වටකරගෙන සිටින ඒ වෙලාවෙ ඔවුනුත් හිරගෙදර ආයුධ ගබඩාව කඩා එහි තිබූ පරණ තුවක්කු අතට ගත්ත. මේ වෙලාවෙ ආණ්ඩුව විශාල කාර්‍ය බලකායයි, යුධ හමුදාවයි දෙකම බන්ධනාගාරය අසලට කැඳෙව්වා. හැම පැත්තකින්ම හිරගෙදර වටලා හවස් වෙද්දී හමුදා භටයො හිරගෙදර ඇතුළට කඩාවැදී වෙඩි තියෙන්න පටන්ගත්ත. රෑ වෙනකොට සන්නද්ධ රථ පවා එහි කැඳවා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ යුද්ධය කාලයේ උතුරේ කළ හමුදා මෙහෙයුමක් වැලිකඩ බන්ධනාගාරය තුළදී එදා සිදුකළා.


මේ ප්‍රහාරයෙන් රැඳවියන් 27 දෙනකු වෙඩි තබා මරාදමා තිබුණා. තවත් පිරිසකට බරපතළ තුවාල සිදුවුනා. සිරකරුවන් තෝර තෝරා වෙඩි තබා තිබූ බව පසුව කළ පරීක්ෂණවලින් තහවුරු වුනා. මේ වෙඩිතබා මරාදැමීම් සම්බන්ධයෙන් මේ වනවිට කොළඹ මහාධිකරණයේ නඩු පවරා තියෙනවා පොලිස් නිලධාරියකු සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයකු ඇතුළු පිරිසකට එරෙහිව.
මීට අමතරව අවස්ථා කීපයකදීම රැඳවියන් මියගිහින් තියෙනව සැක කටයුතු තත්වයන් යටතේ. 2020 වසර තුළදී මහර සහ අනුරාධපුරය බන්ධනාගාර තුළදී මේ අයුරින් සැකකරුවන් දෙදෙනකු  මියගියා. බන්ධනාගාර නිලධාරීන් කියන්නෙ හිරගෙදර තාප්පෙන් පැනයන්න තැත් කරද්දි  වැටිල මැරුන වගේ කතා තමයි. වෙනත් කිසිදු බාහිර සාක්ෂියක් නැති තත්වය තුළ නිලධාරීන්ගෙ කතාව තහවුරු වෙනව. මේ විදියට රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී පහරදීම්වලින් හෝ සැකකටයුතු අයුරින් මරණයට පත්වෙන එක ඉවරයක් වන සංසිද්ධියක් නෙවෙයි.


මෙසේ පහරදීම්වලින් හෝ සිරකරුවන් මරුමුවට පත්වෙන එක සමාජයේ ඇතැම් කොටස් අතර ප්‍රසාදයට ලක්වී තියෙන බවත් අප අඅමතක නොකළ යුතුයි. ආණ්ඩුවේ සහ ආණ්ඩු ගැති මාධ්‍ය නිරන්තරයෙන්ම කියන්නේ මේ මියගිය සිරකරුවන් බහුතරයක් එක්කෝ මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ එහෙම නැත්නම් සංසංවිධානාත්මක අපඅපරාධවලට සම්බන්ධයි කියලයි. ඉතින් සාමාන්‍ය ජනයා මේ කතා ඇත්ත කියල විස්වාස කරන අතරම එහෙම උන් මරාදාන එක තමයි හොඳ කියන අදහසකට ඇවිල්ල ඉන්නෙ.

  
,ලංකාවෙ සිරකරුවො කියන්නෙ ඉතාම දැඩි ලෙස සූරාකෑමට ලක්වූ පිරිසක්. මේ සිරකරුවන් වැඩ දෙනා සමාජයේ පහළම මාලයෙන් ආපු අය. ඔවුන්ගෙ අධ්‍යාපනය අවමයි. ඔවුන් සමාජයෙන් පිටමං කරපු අය. හිරගෙදරදි ඒ නිසාම ඔවුන්ට සිදුවෙන්නෙ බන්ධනාගාරයෙ ඉහළ නිලධාරීන්ට බැලමෙහෙවර කරන්න. අවම පහසුකම් ලබාගැනීමටත් ඇතැම් විට තම බිරිඳ හෝ දුව නිලධාරීන්ට බිලිදීමට පවා සිදුවූ අවස්ථා තියෙනවා. මෙවන් තත්වයක් තුළ සිරකරුවො ඉන්නෙ අසහන පොදියක් ගුලි කරගෙන. මේ අසහනය කොයි මොහොතක හරි පුපුරා යන්න ඉඩ තියෙනව. ඒත් බලධාරීන් එම අසහනයට පිළියම් යොදනු වෙනුවට කරන්නෙ ඔවුන්ට තුවක්කුව එල්ල කරන එකයි.

සිරකරුවන්ට පහරදීම හෝ මරාදැමීම පන්ති ප්‍රශ්නයක් කියල එක පාරටම පේන්නෙ නැහැ. ඒ නිසාම වමේ ව්‍යාපාරය හෝ වෘත්තීය සමිති නායකයන් මේ කාරණා ගැන වැඩිය උනන්දු වෙන්නෙ නැහැ. වමට මේ ප්‍රශ්න අතහැරල හුදු වැඩපොළ ප්‍රශ්න ගැන විතරක් කතා කරල ඉදිරියට යන්න බැහැ අද පවතින සමාජ සන්දර්භය තුළ. ධනේශ්වර රාජ්‍ය පාලනයේ සහ පන්ති පීඩනයේ මර්මස්ථානයක් වන හිරගෙදර – බන්ධනාගාරය මුලිනුපුටා දැමීම සඳහා සටන් කිරීම වමේ වගකීමක්. ජනප්‍රිය නොවුන වුනත් වමට ඒ හැර වෙන මගක් නැහැ.

– ශ්‍රීනාත් පෙරේරා විසිනි –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *