කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය – නව සුසමාදර්ශයක් කරා…

සුමනසිරි ලියනගේ

H W Arndt දක්වන්නේ 1929 British Development Act එකට පෙර ආර්ථික සංවර්ධනය අකර්මක ක්‍රියාවක් ලෙස සැලකුණ අතර එම පනත මගින් එය සකර්මක ක්‍රියාවක් ලෙස සැලකිය යුතුයැ යි යෝජනා කළ බව ය. එහෙත් ඒ පනත මගින් එසේ යෝජනා කෙරුනේ විජිතයන් සදහා පමණ ය. මට මෙය සිහිගැන්වුනේ කෘෂිකාර්මික ප්‍රශ්නය ගැන සලකාබලමින් සිටින අවස්ථාවක ය. මෙම අදහස කෘෂිකාර්මික පරිවර්තනය සම්බන්ධයෙන් නිවැරදි වේ.

ධනේශ්වර මෙන්ම සමාජවාදී සහ මාක්ස්වාදී කතිකාව තුල ද 1917 ට පෙර එනම් බෝල්සේවික්වරුන් රාජ්‍ය බලය ඩැහගන්නා තුරු කෘෂිකාර්මික පරිවර්තනය සැලකුනේ අකර්මක ක්‍රියාවලියක් ලෙස ය. එනම්, කිසිවෙකු විසින් මෙහෙයවනු නොලබන ක්‍රියාවලියක් ලෙස ය. මෙම ක්‍රියාවලියේ දී පංති හැප්පීම් සහ ගැටුම් ඇති නොවුනියැයි මෙයින් නොකියවේ. මෙම පරිවර්තනය සිදුවන්නේ කාර්මික ක්ෂේත්‍රයට වඩා මදවේගයකින් ය යන්න ගැන සාමාන්‍ය එකගත්වයක් ධනේශ්වර කතිකාව සහ මාක්ස්වාදී කතිකාව අතර පැවතින. සරලව දැක්වුවහොත් මෙම ක්‍රියාවලියේ දී සිදුවන්නේ කුඩා ගොවියා එනම් සුලු පරිමාණ කෘෂිකාර්මික නිශ්පාදකයා ක්‍රමානුකූලව නැතිවගොස් කෘෂිකාර්මික තලයේ ද මහා පරිමාණ ගොවිබිම් පදනම් කරගත් කාර්මික කෘෂිකාර්මික ක්‍රමයකට ගමන් ගන්නා බව ය. මෙම සාමාන්‍ය ක්‍රියාවලිය සංයුක්තව දිග ඇරෙන ආකාරය රටින් රටට වෙනස්විය හැක. ලෙනින් එය සිදුවූ තුන් ආකාරයක්, එනම්, එංගලන්ත, ප්‍රසියානු සහ ඇමරිකානු, හදුනා ගත්තේ ය. පසුකාලීන ලේඛකයෝ තවත් සංයුක්ත ක්‍රියාවලින් හදුනාගත්හ.

තවත් ලෙසකින් දැක්වුවහොත් එංගලන්තයේ එම ක්‍රියාවලිය සිදුවූයේ සම්භාව්‍ය ප්‍රාථමික ප්‍රාග්ධන සමුච්චන ක්‍රියාවලියක් ලෙස ය. ගොවීහු නිදහස දිනා ගත්හ. ඉඩම්හිමි රදලයෝ ඉඩම අයිතිකරගත්හ. අස්වාමිකරණය හරහා සමුච්චනය සිදුවිය.

ප්‍රසියාවේ එය සිදුවූයේ ගොවියාට නිදහසත් ඉඩමත් යන දෙකම නැතිවීමෙන් ය. ඇමරිකාවෙදී කුඩා පවුල් ගොවීන් ක්‍රමයක සිට පංති විභේදනයන් හරහා මෙම පරිවර්තනය සිදුවීම වඩා ප්‍රජාතන්ත්‍රවාදී එකක් ලෙස ලෙනින් දුටුවේ ය. එවන් වෙනසක් රුසියාවේ ධනවාදී වර්ධනයේදී සිදුවනබවක් ලෙනින් හදුනාගත්තේ ය. කෘෂිකාර්මික තලයෙහි වෙන මෙම පරිවර්තනය වඩා ශාස්ත්‍රීය ලෙස විග්‍රහ කෙරුනේ කාල් කවුට්ස්කිගේ Agrarian Question පොතෙන් ය. කව්ට්ස්කිගේ පොතේ වැදගත්කම වන්නේ හේ මෙම ක්‍රියාවලියට හරස්ව සිටින බලවේග සාකච්ඡාවට ගත් හෙයිනි. කුඩා පරිමාණ නිශ්පාදනයේ සිට මහා පරිමාණ කාර්මික කෘෂිකර්මයකට මාරුවීම සාමාන්‍ය ප්‍රවණතාවය ය. එහෙත් එය කාර්මික නිශ්පාදනයේ මෙන් සුගම ක්‍රියාවලියක් නොවේ. කවුට්ස්කිගෙ පොතේ හත්වන පරිච්චේදය වර්තමාන කෘෂිකාර්මික සන්දර්භය තේරුම් ගැන්මේදී බෙහෙවින් වැදගත් වන්නේ එහෙයිනි.

1917 රුසියානු විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ කෘෂිකාර්මික පරිවර්තනය සකර්මක ක්‍රියාවලියක් ලෙස දියත්කිරීම කෙසේ කරන්නේ ද යන්න මා හිතන විධියට ප්‍රථමවරට සාකච්ඡා කෙරින. එය හුදු කෘෂිකාර්මික නිශ්පාදනය නැංවීමේ ප්‍රශ්නයක් පමණක් නොවින. ප්‍රියොබ්‍රසන්ස්කි දැක්වූ ලෙස එය සෝවියට් දේශයේ කාර්මික පිම්ම සදහා “ප්‍රාග්ධනය” රාශිගත කිරීමේ කාර්‍යය සමගද බැදුනකි. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනේශ්වර වර්ධනයකට ගිය දකුණු කොරියාවට සහ තායිවානයටද මෙම ප්‍රශ්නය මතුවින.

සෝවියට් දේශය මෙන්ම එම රටවල්ද කෘෂිකාර්මික ප්‍රශ්නය විසදාගත්තේ ධනේශ්වර සහ මාක්ස්වාදී කතිකාවේ ආධිපත්‍ය මතවාදය අනුව යමිනි. එනම් කාර්මික කෘෂිකර්මයකට ගමන් කරමිනි.

මෙය අද විමුක්තිවාදී වැඩපිළිවෙළට අන්තර්ගත කරගතයුතු ක්‍රමයද? විමුක්තිවාදී කෘෂිකාර්මික වැඩපිළිවෙළ මෙයින් ගුණාත්මකව වෙනස් වියයුතු ය. විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (agricultural mode of production) කෙබදු එකක් ද? දෙවන කොටසේ දී එය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *