ලංකාව හා භාරතීය ජනතා පක්ෂය


පසුගිය සතියේ රැස්වීමක් ඇමතු ත්‍රිපූර මහා ඇමති බිප්ලම් කුමාර් ඩෙබ් මහතාගේ ප්‍රකාශයක් හේතු කොට ගෙන ඉන්දියානු හා ශ්‍රී ලංකා දේශපාලනයේ ඉමහත් කලබැගෑනියක් සිදු වී ඇත. ඔහු ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්ෂයේ නායක රැස්වීමකදී එම පක්ෂයේ සභාපතිවරයා වන අමිත් ෂා භාරතීය ජනතා පක්ෂය නේපාලය හා ශ්‍රි ලංකාවේ ශාඛා පිහිටුවීමට කටයුතු කරන බවත්, එම රටවල දේශපාලන බලය අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන බවත්ය. මේ පිළිබඳව ඉතා සැලකිල්ලෙන් කරුණු විභාග කළ යුතුව ඇත. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ ප්‍රමුඛ නායකයන් වු පිලිප්, ලෙස්ලි, කොල්වින් වැනි අය ලංකාවේ සමාජවාදය පිහිටුවීම ආරම්භ කළ යුත්තේ ඉන්දියාව සමග එක්ව බව ප්‍රකාශ කරමින් 1941 දී ඉන්දියානු බොල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය පිහිටුවා ගත්හ. ලංකවේ අය තමන් හඳුන්වා ගත්තේ එම පක්ෂයේ ලංකා ශාඛාව වශයෙනි. එම ප්‍රයත්නයේ සැලකිය යුතු සත්‍යයක් තිබුණි. එදාට වඩා අද එය සත්‍යයකි. ඉන්දියාවේ දැවැන්ත වැඩ කරන ජනතා බලයත් සමග ඒකාබද්ධවීමකින් තොරව ලංකාවේ වැඩ කරන ජනතාවට පවත්නා ක්‍රමය වෙනස් කිරීම සඳහා සටන් කිරීම දුෂ්කරය. එබැවින් අද වුවද ලෝක පරිමාණව පමණක් නොව අඩුම වශයෙන් ඉන්දියානු උප මහාද්වීපය ඇතුළත හෝ වැඩ කරන ජනතාවගේ ව්‍යාපාර හා මාක්ස්වාදී ව්‍යාපාර අතර අන්තර් සහයෝගීතාවයක්, සම්බන්ධතාවයක් පවත්වා ගැනීම නිවැරදි ක්‍රියාවකි.


ගත වු දශක කිහිපය තුළ ඉන්දියාව හා ලංකාව අතර සමීප සහයෝගයක් හා පොදු වෙළඳපළක් පවත්වා ගැනීම සඳහා යම් යම් උත්සාහයන් දරා තිබුණි. තලෙයි මන්නාරම සිට දනුෂ්කොඩි දක්වා පාලමක් තැනීමේ උත්සාහය එවැන්නකි. එම ප්‍රයත්නයන්ගේ යම් සාධනීය බවක් තිබුණ ද ඒවා ජාතිවාදී බලපෑම් තුළ ක්‍රියාත්මක වුයේ නැත.


අද වන විට භාරතීය ජනතා පක්ෂය ලංකාව හා නේපාලය වැනි රටවල තමන්ගේ පක්ෂ ශාඛා ගොඩ නගා එම රටවල බලය පිහිටුවීමට උත්සාහ කරන්නේ හොඳ චේතනාවකින් නොවන බව පැහැදිලිය. භාරතීය ජනතා පක්ෂය අන්ත හින්දුත්ව මුලධාර්මීක පක්ෂයකි. ඉන්දියාව තුළ මුස්ලිම් ඇතුළු අවශේෂ සුළු ජන කොටස් හා ආගමික කොටස් සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. භාරතීය ජනතා පක්ෂයේ පෙරගමන්කරුවන් වූ ආර්. එස්. එස්. හා සිවසේනා වැනි සංවිධාන බබ්රි මස්ජිද් පල්ලිය කඩා දමා හින්දු දේවස්ථාන ඉදි කිරීමට කටයුතු කිරීම තුළ දැවැන්ත මුස්ලිම් විරෝධයක් ඇවිස්සීය. එසේම අද අගමැතිව සිටින නරේන්ද්‍ර මෝදී මහ ඇමති ධූරය දැරූ සමයේ ගුජරාටය තුළ දහස් ගණනක් මුස්ලිම්වරු සංහාරය කරනු ලැබුවේ මෙම පක්ෂය විසිනි. අවසානයේදී ඉන්දියානු කාශ්මීරය තුනට කඩා දැමුවේ ද මෙම පාලනයයි. ඉන්දියාව එක්සත් කිරීමට නොහැකි වු පක්ෂයක් නේපාලය හා ලංකාව එක්සත් කරන්නේ කෙසේද ?


එසේ නම් මේ ප්‍රකාශයේ තේරුම කුමක්ද? ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව, ඔස්ටේ්‍රලියාව, ජපානය ඒකාබද්ධව පිහිටුවන ලද ූඹ්ෘ සංවිධානය අලුතින් ප්‍රතිව්‍යුහගත කළයුතු බවයි. එම සංවිධානය පිහිටුවා ගන්නා ලද්දේ ලෝකයේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධව ගොඩනැගෙමින් පවතින බලසම්පන්න චීනයට විරුද්ධ වටලෑමේ කටයුත්ත සඳහාය. එහි නායකත්වය ගෙන ඇත්තේ ඉන්දියාවයි. ඒ නිසාම භූ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව චීනයට විරුද්ධව මෙහෙය විය හැකි ස්ථානයක් බවට පත් කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. මෙය ඉතාම පැහැදිලි වුයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට දීමට විරුද්ධව මතු වු උද්ඝෝෂණයෙනි. උද්ඝෝෂණය මධ්‍යයේ ඇමරිකානු තානාපතිවරිය ප්‍රකාශයක් කරමින් එය ඉන්දියානු සමාගමට දිය යුතු බවට රජය බලපෑම් කළේය. මෙය වනාහි භූ දේශපාලනික ප්‍රශ්නයක් මිස වෙන යමක් නොවේ. මෙයට හේතු වශයෙන් ඔවුන් දක්වන කාරණාව වන්නේ හම්බන්තොට වරාය චීනයට පැවරීම, කොළඹ වරායේ කොටසක් චීන සමාගමක් සතුව පැවතීම හා චීන ආධාර මත ලංකාව පැවතීම යන කරුණු මතය. මෙම තත්වය හේතු කොටගෙන ඉන්දියාව ලංකාවට මැදිහත් වීමට උත්සාහ කරන්නේ ලංකාව ඇතුළත බරපතළ දේශපාලන අස්ථාවරභාවයක් ඇති වන ආකාරයේ පියවරයන් ගැනීමෙනි. තමිල්නාඩුවට පැමිණි ඉන්දියානු අගමැතිවරයා රැලියක් අමතමින් ප්‍රකාශ කළේ ඉන්දියාව දිගටම ලංකාවට ආධාර දුන් බවත්, ලංකාවේ දෙමළ ජනතාවගේ හා වතුකර ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි දිගටම කටයුතු කරන බවත්ය. මෙය වනාහි මේ මාසයේදී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට විරුද්ධව ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ලංකා රජයට සහයෝගය නොදෙන බවට කරන ලද ප්‍රකාශයක් විය හැකිය. දෙමළ ජනතාවගේ සාධාරණ දුක් ගැනවිලි හා යුධ සමයේ සිදු වූ යුද අපරාධවලට කිසිම සාධනීය පියවරක් ආණ්ඩුව අනුගමනය නොකරන තත්වයක් තුළ මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට ද ඉඩකඩ නැතුවා නොවේ. මෙම තත්වය ඇතිවීමට වර්තමාන රජය පැහැදිලිවම වගකිව යුතුය.


ඒ අතරම ලංකාවේ රාජ්‍ය බලය හොබවන පොදු ජන පෙරමුණ පක්ෂය භාරතීය ජනතා පක්ෂය හෝ චීන කොමියුනිස්ට් පක්ෂය ලෙස ගොඩ නැගිය යුතු බවට බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. මේ දෙකම අතිශයින් භයානකය. බී.ජේ.පී. පක්ෂය ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් ලෙස ක්‍රියා කරන අන්ත ප්‍රතිගාමී ජාතිවාදී පක්ෂයකි. චීන කොමියුනිස්ට් පක්ෂය එෛතිහාසිකව කුමක් වුවත් අද චීනයේ ධනවාදය ස්ථාපිත කිරීම සඳහා නොපැකිළිව ක්‍රියාත්මක කරන අන්ත අධිකාරීවාදි (ඒකාධිපති) පක්ෂයකි. ජනතාවට ඒ තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. බැසිල් රාජපක්ෂ ගොඩ නැගීමට යන්නේ එවැනි පක්ෂයක්ද? එවැන්නකට ඉන්දියාව එකඟ වීමටත් ඉඩ ඇත. නමුත් ලංකාවේ සමාජ බලවේගයන්ගේ ස්වභාවය අනුව එය තනිකරම මිරිඟුවක් පමණක් වනු ඇත. මේ නිසා ඉන්දියානු ප්‍රාග් ධනයේ ව්‍යාප්තිය උදෙසා ලංකාව හෝ නේපාලය බිලි ගැනීමට ඉඩ නොදිය යුතුය. ඉන්දියාවෙන් නේපාලයේ හා ලංකාවේ ජනතාව මෙම ප්‍රාග්ධනයේ ආධිපත්‍යයෙන් නිදහස් වීම සඳහා වැඩ කරන ජනාතාවගේ සහයෝගීතාවක් හා විප්ලවවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීම වෙන කවරදාකටත් වඩා අත්‍යවශ්‍ය වී තිබේ.

නීල් විජේතිලක
වමේ හඬ වෙනුවෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *