මාධ්‍ය නිදහස ඇතුළු අදහස් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා…

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ජනවාරි මාසය හැඳින්වෙන්නේ “කළු ජනවාරිය” නමින්. ඒ ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන් තුන්දෙනකුම ජනවාරි මාසයේදී ඝාතනයට ලක්වීමයි. ඒ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ සහ සුගීර්තදාසන් කියන මාධ්‍යවේදීන්. ලසන්ත සහ ප්‍රගීත් ගැන සිංහල පාඨකයන් සෑහෙන දුරට දන්නා නමුත් සුගීර්තදාසන් ගැන අහල නැති තරම්. ඔහු අම්පාර පැත්තේ ඉපිද තිරිකුණාමලයේ පදිංචිව සිටි මාධ්‍යවේදියෙක්. තිරිකුණාමලය වෙරළ තීරයෙදි 2006 ජජනවාරි 2දා සිසුන් පස්දෙනෙකු හමුදාව විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයේ යෙදුනු සුගීර්තදාසන් 2006 ජනවාරි 24 දා තිරිකුණාමලයේදී මරාදමා තිබුණා. මේ මාධ්‍යවේදීන් තිදෙනාම පහුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදියි ඝාතනය කර තිබුණේ. ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24දා අතුරුදහන් කරන ලද අතර අද දක්වාම ඔහු ගැන කිසිදු ආරංචියක් නැහැ.


ඇතැමුන් අපෙන් අහනවා රාජපක්ෂ පාලන සමයේ ඝාතන ගැන විතරයි කතා කරන්නෙ ඇයි UNP ආණ්ඩු විසින් මරාදමන ලද මාධ්‍යවේදීන් ගැන කතා නොකරන්නේ කියල. ඇතැම් විට ඒක හරි. සමහරු කතා කරන්නේ රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ ඝාතන ගැන විතරක් තමයි. ඒත් අපට නම් unpය සුද්ද කරන්න ඕන නැති අතරම unpය සුද්ද කරන්නත් බැහැ. විශේෂයෙන්ම 1990 පෙබරවාරි මාසයේ 19දා රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා පැපැහැරගෙන ගොස් මරාදැමීම එජාප පාලන සමයක සිදුවූ කුරිරුතම ඝාතනයයි. පසුදින විදේශගත වීමට නියමිතව සිටි ඔහු එදා හැන්දෑවේ තම මව සමග කතා කරමින් සිටියදී එදා ආණ්ඩුවේ සන්නද්ධ මැරයන් විසින් පැහැරගෙන යනුලැබ විවිධ වධහිංසා කොට මරාදමනු ලැබූ රිචඩ්ගේ මළසිරුර පසුදා එනම් පෙබරවාරි 20දා කොරළවැල්ල වෙරළ තීරයේ තිබී හමුවුනා.


මේ ඝාතනවලින් පෙනෙන්නේ ධනපති පාලකයන්ට ඇත්ත යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් වහකදුරු මෙන් පේන්න බැරි බවයි. මේ ඝාතන සහ පැහැරගෙන යාම් සිදුවුනේ රාජපක්ෂ සහ ප්‍රේමදාස පාලනයන් යටතේ වුවත් මේ රට පාලනය කළ සියළු දේශපාලකයන් යටතේ මේ ආකාරයේ ඝාතන හෝ වෙනත් ආකාරයේ අඩන්තේට්ටම් කිරීම් හෝ පහරදීම් සිදුවී තියෙනවා. මාධ්‍ය නිදහස තහවුරු කරනවය කියා බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලනය යටතේ මාධ්‍යවේදීන් කීපදෙනෙකුම පහරදීම්වලට ලක්වූ අතර නිමලරාජන්, රෝහණ කුමාර සහ ධර්මර්ත්නම් සිවරාම් ඝාතනයට ලක්වුනා. 
මේ කිසිදු ඝාතනයක් සම්බන්ධයෙන් නීතිය හරියට ක්‍රියාත්මක වුනේ නැහැ. පහුගිය යහපාලන ආණ්ඩුව මේ පිළිබඳ පරීක්ෂණ අළුතින් ආරම්භ කළත් පටන් ගන්න කොට තිබුණ උද්‍යෝගය පසුව තිබුණේ නැහැ. දැනට ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පමණක් නඩු පවරා ඇති අතර වත්මන් පාලකයන් යටතේ ඒ නඩුවටත් කුමණ ඉරණමක් අත්වේදැයි කියන්න බැහැ.


මාධ්‍ය නිදහස කියන්නෙ ජනතාව සතු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ කොටසක්. පාලකයන් බලන්නෙ හැම විටම ඒ නිදහස සීමා කරන්නයි. එහි ආන්තික පියවර තමයි මාධ්‍යවේදීන් මරාදැමීම. ඒකාධිපති/ආඥදායක පාලකයන් මාධ්‍යවේදීන් ඝාතනය තුළින් උත්සාහ කරන්නෙ තම නොහැකියාවන් වහගන්නයි. මේ නිසා මාධ්‍ය නිදහස ඇතුළු අදහස් ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියළුදෙනාම පෙරට ආයුතු බව අමුතුවෙන් කිවයුතු නැහැ.

– ශ්‍රීනාත් පෙරේරා විසිනි –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *