සේල් ! සේල් ! සේල් !, ලංකා බැංකු මූලස්ථානයත් විකිණීමේ සැළැස්මක් CBEU හෙළිකරයි ?

ලංකා බැංකුවේ මූලස්ථාන ගොඩනැගිල්ල විකුණා දමා, බැංකු මූලස්ථානය බත්තරමුල්ල නගරය වෙත ගෙනායාමේ ආණ්ඩුවේ සැළැස්මක් ගැන ලංකා බැංකු සේවක සංගමය හෙළිදරව්කර සිටි. පසුගිය 25 වෙනි දින බැංකු සේවක සංගම් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සංගමයේ නායකත්වය මේ බැව් ප්‍රථම වතාවට හෙළිදරව් කරනු ලැබීය.

එම මාධ්‍ය හමුවේ මේ පිළිබඳව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා අදහස් දක්මින් මෙසේ පැවසීය.

‘‘ ඔබ දන්නවා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ශ්‍රී ලංකා ආර්ථිකයේ මර්මස්ථානයන් ලෙස හඳුන්වනු ලබන ලංකා බැංකුව, මහජන බැංකුව ප්‍රමුඛ රාජ්‍ය බැංකු පිළිබඳව බරපතල විවේචනයන් පවතින බව. විශේෂයෙන් ලංකා බැංකුව හා මහජන බැංකුව යන යෝධ කුළුණු දෙක මත තමයි ලංකාවේ ආර්ථිකය මුළුමණින් ම රඳා පවතින්නේ. පැහැදිළිව තේරැම්ගත යුතු  කාරණයක් තමයි රාජ්‍ය බැංකු කියන්නේ ආණ්ඩුවේ බැංකු නෙවෙයි. ජනතාවට අයිති, රටේ මහජනතාව සතු මහාර්ග සම්පත් සමූහයක්.

මීට පෙර ඉතිහාසයේ නොවු තරම් බරපතල විවේචනයන්, චෝදනා රාශියක් රාජ්‍ය බැංකු පද්ධතියට ම එල්ලවෙන යුගයක්. මේ බැංකුවලට සභාපතිවරැ, අධ්‍යක්ෂ මණ්ඩල පත් කරන්නේ ආණ්ඩුව. මේවා දේශපාලන පත්වීම්. හැම ආණ්ඩුවක් ම කරන වැඩක්. බැංකුවලට එල්ල වෙන චෝදනාවන් පිළිබඳව වගකියන්න ඕනෑ, මේ සභාපතිවරැ හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්. ඒ කියන්නෙ ආණ්ඩුව. හැබැයි මේ පිළිබඳව ආණ්ඩුව හෝ වැඩි වගකීමක් පැවරෙන මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව වගකීමකින් සොයාබලන බවක් පේන්නේ නෑ.

මේ නිසාම රාජ්‍ය බැංකු පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳවැටීමේ අනතුරක් තියෙනවා. ලංකා බැංකු සේවක සංගමය හැටියට අප දැනටමත් මුදල් ඇමති ධූරය හොබවන අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන්න කියල දැනුම් දීල තියෙනවා. අදටත් ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් ලැබිල නම් නෑ.

හැබැයි ආණ්ඩුව මාධ්‍ය හරහා ඉදිරිපත්කෙරෙන මේ බරපතල චෝදනා පිිළිබඳව විමර්ශනය කරන්නේ නැත්නම් වෘත්තීය සමිතියක් ලෙස මෙම තත්වයන්ට එරෙහිව කටයුතු කරන්න අපි පැකිලෙන්නේ නෑ.

දැන් අළුත් ම තර්ජනය තමයි ලංකා බැංකු මූලස්ථානය බත්තරමුල්ලට ගෙනියන්න හදනවා කියන කථාව. ලංකා බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල විකුණන කථාවක් ගැන ප්‍රවෘත්තියක් මේ අතර වාර්තා වෙන්වා. අපි ආණ්ඩුවට කියනවා වගේම, ලංකා බැංකු මූලස්ථානය හෝ මොනම රාජ්‍ය බැංකු මූලස්ථානයක් විකුණාගෙන කන්න ලංකා බැංකු සේවක සංගමය ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව අපි රටටත්, සමස්ථ බැංකු සාමාජික ප්‍රජාවටත් ලබා දෙනවා.“

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්  රංජන් සේනානායක අදහස් දක්වමින්,

“අපිට අද වෙනකොට වාර්තා වෙනවා විවිධ දේශපාලන වුමනාවන් වෙනුවෙන්, බහු ජාතික සමාගම්වල අවශ්‍යතාවය වෙනුවෙන්, විවිධ රටවල් එල්ල කරන භූ-දේශපාලන වුවමනාවන් වෙනුවෙන් විවිධ වූ රාජ්‍ය දේපල විකුණන්න ආණ්ඩුව සැළසුම් කරමින් ඉන්න බව.

 කොළඹ තියෙන ලංකා බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල, ලංකා බැංකුවෙන් උදුරාගෙන, ජාවාරම්කාර පැලැන්තියේ අශ්‍යතාවය පරිදි විකුණන්න සැළසුම කරමින් ඉන්න බවත් මේ අතර වාර්තා වෙනවා. ආයෝජන ව්‍යාපෘති නාමයෙන් වර්තමාන ආණ්ඩුවේ යටි මගඩි ගැන, ගහන්න යන ගේම් පිළිබඳව හොඳ අවබොධයකින් අපේ සංගමය ඉන්නේ. අපි, ලංකා බැංකු සේවක සංගමය හැටියට පැහැදිළිව කියනවා ආණ්ඩුවට ඒ සැළසුම් ක්‍රියාත්මක කරන්න නම් ඉඩක් තියන්නේ නෑ කියල. රටටත්, ජනතාවටත් අප ඒ සහතිකය දෙනවා.“

සටහන ධර්මසිරි ලංකාපේලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *