නැඟෙනහිර බහාලුම් පර්යන්තය පිලිබඳ ප්‍රශ්නය ට විසඳුම?

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් සිටී.

එම කණ්ඩායම් සංවිධානය කල නැඟෙනහිර පර්යන්තය බදු දීම පිලිබඳ දැණුවත් කිරීමේ සාකච්ඡා මෙන්ම නැඟෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් දියත් කිරීමට කෙරෙන සමාජය පෙළ ගැස්වීමේ ක්‍රියාකාරකම් තුළ අපි නිරීක්ෂණය කල කාරණා කිහිපයකි.

‘සෞභාග්‍යයේ දැක්ම‘ යටතේ දේශීය ආර්ථිකයක්, නිවහල්, ස්වාධීන රටක් ආදී තේමාවන් මුල් කරගෙන ගෝඨාභය රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කළ කණ්ඩායම් තමන් අපේක්ෂා කල දේශපාලන-ආර්ථික ප්‍රතිපත්ති උල්ලංඝණය කරමින් තමන් පත්කළ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ පුද්ගලික සමාගමකට බදු දීමට ගෙන ඇති තීරණය තමන් කිසිසේත්ම අපේක්ෂා නොකළ කටයුත්තක් බවත් එයින් තමන් බෙහෙවින් කලකිරී බලාපොරොත්තු කඩ වී සිටින බවත් ප්‍රකාශ කරති.

ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා නොදැනුවත්ව ඔහුගේ ලේකම්වරයා ඇතුළු ඩීල් කාරයින් කිහිපදෙනෙක් කරන කුමන්ත්‍රණයට තමන් පත් කළ ආණ්ඩුව ගොදුරු වී ඇති බවකි. මේ කණ්ඩායම් සමග සිටින ඇතැම් අය පවසන්නේ නැඟෙනහිර පර්යන්තය රජය යටතේ පාලනය වීම අත්‍යවශ්‍ය දෙයක් බවත්, වෙන ඕනෑම පර්යන්තයක්, උදාහරණයක් ලෙස බටහිර ජැටියේ කොටසක් ඉන්දියාවට බදු දීමට හැකි බවත්ය.

නැඟෙනහිර පර්යන්තය දේශීයව සංවර්ධනය කිරීමට ආණ්ඩුවට නොහැකි නම් වරායේ  වැඩකරන ජනතාව ඊට සුදානම් බවත්, වරායේ වැඩකරන ජනතාව සතු පර්යන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමට සැළැස්මක් සහ වැඩපිළිවෙලක් තමන්ට තිබෙන බවත් පවසති.

ඉතාමත් ඉදිරිගාමී ප්‍රවේශයන් මෙන්ම පෙර සඳහන් කල නිරීක්ෂණ තුළ ගැබ්වී තිබෙන දේශපාලන-ආර්ථික කාරණා නිසා වරාය පර්යන්තය රැකගැනීමේ අරගලය කඩාකප්පල් වීමේ අනතුරක් මෙන්ම වරාය අරගලය අනෙකුත් සමාජ-ආර්ථික-දේශපාලන අරගලයන් වලින් වෙන්වූ හුදකලා අරගලයක් වීමේ උවදුරක් ඇත.

අපේ මේ උත්සාහය මේ උවදුර විවරණය කිරීමෙන් ජාතික සම්පත් රැකගැනීම උදෙසා අවශ්‍යය පුළුල් සමාජ-දේශපාලන ව්‍යාපාරයක් කරා යන ගමන තවදුරටත් ශක්තිමත් කිරීම වේ.

නැඟෙනහිර බහාලුම් පර්යන්තය බදුදීමට ගෙන ඇති තීරණය සංකේතවත් කරන්නේ කුමක්ද?

සරලව කිව්වොත්, නැ‍ඟෙනහිර බහාලුම් පර්යන්තය දේශීය/ විදේශීය සමාගමකට බදු දීමට/ ආයෝජනය කිරීමට කර ඇති යෝජනාව පොදු, ජාතික සම්පතක් පුද්ගලීකරණය කිරීමකි. දශක හතරක් තිස්සේ ආණ්ඩු මාරුවෙන් මාරුවට කරගෙන ආ නව ලිබරල්වාදී දේශපාලන-ආර්ථික ක්‍රියා පිළිවෙතේතවත්  දිගුවකි.

එම පිළිවෙත රඳා පවතින ‘පුද්ගලීකරණය හැර වෙනත් විකල්පයක් නොමැත‘ යන උගුල හෙළිවෙන එක් අවස්ථාවකි. මෙම සටන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය සේවා, ස්වභාවික සම්පත්, ඉඩම්, ජලය, වනාන්තර, මෙන්ම වරායන්, තෙල් ටැංකි, ආදී පොදු, ජාතික සම්පත් රැකගැනීමට සිසුන්, ගොවියන්, ධීවරයින් ඇතුළු වැඩකරන ජනතාව දශක ගණනක් තිස්සේ සිදුකරමින් තිබෙන අරගලයන්හී වැදගත්කම පෙන්වන අවස්ථාවක්ද වේ.

නැඟෙනහිර පර්යන්තය බදු දීම ‘පුද්ගලීකරණය’ නම්, රාජ්‍යය-පුද්ගලික අංශයන් අතර කෙරෙන හවුල් ව්‍යාපාර ^Public-Private Partnership& නොහොත් (PPP) අදහස ප්‍රමුඛ කොට ආසියා සංවර්ධන අරමුදල (ADB) සකස් කල න්‍යාය පත්‍රය යටතේ පර්යන්ත දෙකක් ම බදු දෙන විට ප්‍රතිචාර නොදක්වා සිටියේ ඇයිදැයි, වරාය වෘත්තීය සමිති වෙත නැඟෙන ප්‍රශ්නය ‘පුද්ගලීකරණය’ මුලික කරගත් විවෘත වෙළෙඳපල ආර්ථික ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත අර්බුදය අපට පෙන්වා දෙනු ලබයි.

සමස්ත පුද්ගලීකරණයට එරෙහි වී ජනතාවාදී-පරිසරවාදී විකල්ප විසඳුම් ක්‍රියාත්මක කිරීමට රජයට බල කිරීම හැර වරණාත්මක ලෙස (selective) පුද්ගලීකරණයට එරෙහි වීමෙන් තමන්ගේ පර්යන්තය, තමන්ගේ බැංකුව, එහෙමත් නැත්නම් තමන්ගේ රස්සාව විතරක් බේරා ගැනීමට නොහැකි නිසා එය වැඩකරන ජනතාවට ඇති විකල්පය නොවන බව ද පෙන්වා දෙමු.

PPP න්‍යාය පත්‍රය දේශපාලනිකව කියවා ගැනීම වරාය අරගලය පුළුල් වෘත්තීය සමිති සටන් පෙරමුණක් කරා ව්‍යාප්ත කිරීමට ද ඉවහල් වේ.

පාඩු ලබන රාජ්‍යය ව්‍යවසායයන් ලෙස නම් කර ඇති, පුද්ගලික අංශයේ භාවිතයන් සහ ප්‍රතිපත්ති තුලින් ප්‍රකෘතිමත් කළහැකි බවට 2021 අයවැය තුළින් පවා යෝජනා වූ විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙන්ම තැපෑල, දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනාගමන මණ්ඩලය ආදී පොදු සේවාවල නියැලී සිටින ක්‍රියාකාරී වෘත්තීය සමිති PPP යෝජනාවලට එරෙහිව සටන් කිරීමට නැඟෙනහිර පර්යන්තය රැකගැනීමේ සටන් ව්‍යාපාරය සංදර්භයක් කරගත හැක.

පුද්ගලීකරණය ඔවුන්ගේ ප්‍රශ්නයක් පමණක් නොව සමස්ත ශ්‍රී ලංකික අපි සැවොමගේ ප්‍රශ්නයකි. PPP න්‍යාය පත්‍රයට ස්ථානගත වී තහවුරු වීමට ඉඩ දීමෙන් අපි කරන්නේ සමස්ත ජාතික සම්පත් සහ පොදු සේවා අනතුරේ දැමීමයි.    

නැගෙනහිර පර්යන්තය ඇතුළු ජාතික සම්පත් රැකගැනීමට ආර්ථික-ජාතිකවාදී කතිකාවත ප්‍රමාණවත්ද?

ශිෂ්‍ය ව්‍යාපාරය සහ වාමාංශික දේශපාලන ව්‍යාපාර ප්‍රමුඛ නායකත්වය යටතේ ‘පුද්ගලීකරණය‘ අයහපත්, ජනතා-විරෝධී ක්‍රියාමාර්ගයක් යන අදහස දැඩිව සමාජගත වී ඇති පරිසරයක් ශ්‍රී ලංකාවේ ඇත. ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලන අදහස්වලට නායකත්වය දෙන කොටස් වලට වඩා පුද්ගලීකරණයට එරෙහි අරගල වලට නායකත්වය දෙන්නේ වෘත්තීය සමිති, ශිෂ්‍යයින්, ගොවියන්, ධීවරයින්, කම්කරුවන් ඇතුළු සමස්ත වැඩකරන ජනතාවයි.

පුද්ගලීකරණය, නිදහස් වෙළෙඳ ගිවිසුම්, අන්තර්ජාතික මුල්‍ය අරමුදල-ලෝක බැංකුව-ලෝක වෙළෙඳ සංවිධානය මුලික කරගත් ආර්ථික කොන්දේසි හමුවේ රාජ්‍ය වියදම් කප්පාදුවට එරෙහිව පසුගිය කාලයේ නැගී ආ සටන් ව්‍යාපාර වල දක්නට තිබුණු මුලික ලක්ෂණයක් වුයේ මෙයයි.

සමස්ත ශ්‍රී ලංකික වැඩකරන ජනතාවගේ කම්කරු අයිතීන් සහ මානව හිමිකම් ආදී සටන් පාඨ ශක්තිමත් කරමින් මෙම අරගල දියත් කරමින් සිටී. පුද්ගලීකරණයට එරෙහිව සාමාන්‍ය ජනතාව තුළ තිබෙන විරෝධයට මැතිවරණ කාලය තුළ පමණක් සංවේදී වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතිපත්තියක් ලෙස තමන්ගේ ආණ්ඩු විසින් පොදු දේපල සහ සම්පත් පුද්ගලීකරණය කිරීම සිදු කරනු ලබයි. 

MCC යෝජනාවට එරෙහිව දියත්වූ සමාජ අරගලයේදී ද සමාජයේ සටන්කාමි කණ්ඩායම් සම්බන්ධවුවත් ඒ අරගලයේදී පෙරමුණ ගත්තේ ජාතිකවාදී සමාජ-දේශපාලන කණ්ඩායම් ය. ඇමරිකාව MCC යෝජනාව හකුලාගැනීම ජනතාව ලද ජයග්‍රහණයක් ලෙස අර්ථ දැක්විය හැකි වුවත්, MCC යෝජනා, විශේෂයෙන් ඉඩම් ප්‍රතිපත්ති ලිහිල්කරණය, වක්‍රාකාරයෙන් ශ්‍රී ලංකා රජය විසින්ම ක්‍රියාත්මක කිරීම තුළින් පෙනෙන්නේ එම ජයග්‍රහණයේ පවතින සීමාසහිත බවකි. 

නැඟෙනහිර පර්යන්තය රැකගැනීමට ජාතිකවාදී කණ්ඩායම් මැදිහත් වීම තුළ මෙම අනතුර වෙනස් ආකාරයකින් මතුව ඇත. නැඟෙනහිර පර්යන්තය හැර වෙන ඕනෑම පර්යන්තයක් බදු දුන්නාට කමක් නැත, යනුවෙන් ආර්ථික-ජාතිකවාදී කඳවුරේ ඇතැම් අය පළකරන අදහස් මෙන්ම විදේශීය කොම්පැණි හැර දේශීය කොම්පැණියකට පර්යන්තය භාර දුන්නාට කමක් නැත යන අදහසත් MCC න්‍යාය පත්‍රය තුළ ම ක්‍රියාත්මක වන සටන් පාඨ මිස, සමස්ත පොදු, ජාතික සම්පත් පුද්ගලීකරණයට එරෙහිවීමක් ප්‍රකාශ වන්නේ නැත.

ජාතික සම්පත් සහ පොදු සේවා රැකගැනීමේදී රාජ්‍යය සමඟ කේවල් කිරීම අත්‍යවශ්‍යය කාරණයකි. එහෙත් කැඳත් රැවුලත් දෙකම බේරා ගැනීමේ අරමුණින් කළ අරගල පොදු ජනතාවගේ ජයග්‍රහණයෙන් කෙලවර වූ අවස්ථා ඉතිහාසය තුළ දක්නට නොමැත. බොහෝ විට සිදුවී ඇත්තේ සටන් පාඨ දේශපාලන බලය දිනා ගැනීමේ මාර්ග බවට පමණක් සීමාවී අරගලයන් දියවී යාමයි.

රු. 1000/= දිනක වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් දියත් කළ අරගලය මෑත ශ්‍රී ලංකික ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ විසින් උදුරාගෙන අඩපණ කළ අරගලයකට ඇති හොඳම උදාහරණයක් වේ. එය දේශපාලන පොරොන්දු සහ කේවල් කිරීමට ජනතා අරගලය ද්විතීයික කිරීමේ විපාක පෙන්වන හොදම අවස්ථාවක් බව සටහන් කරමු.   

පොදු සම්පත් සහ සේවා ජාතික වශයෙන්, රටක් වශයෙන්, ඇති වැදගත්කම සැළකීමේ කිසිම වරදක් නැත. නමුත් ජාතිකවාදී කතිකාවතක් යටතට, ජනතාවගේ අයිතිවාසිකම් මෙන්ම ජාතික සම්පත් පිළිබඳ අදහස යටත්වීමේ විපාකය තීරණය වන්නේ එම කථිකාවත හැසිරවීමට/ පාලනය කිරීමට බලය ඇත්තේ කා අතද යන කාරණය තුළ ය.

බෞද්ධ ආගමික නායකයින් දේශපාලන බලය සංකේතවත් කරතැයි අපි සිතුවත් සැබවින් ම දේශපාලන බලය හසුරවන්නේ බලයේ සිටින ජාතිකවාදී දේශපාලඥයින් විසිනි.

විසිවෙනි සංශෝධනයට එරෙහිව භික්ෂුන්වහන්සේලා විරෝධය පළකලත් ඒ විරෝධයන් නොතකා විසිවෙනි සංශෝධනය සම්මත කිරීමත්, භික්ෂුන්වහන්සේලාගේ විරෝධය එතනින් අවසන් වීමත් මෙම කණ්ඩායම් දෙකේ බල තන්ත්‍රයන් තුළ පවතින සීමාකම් පෙන්වනු ලබයි.

නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටන වෘත්තීය සමිති නායකත්වය යටතේ, ඔවුන්ගේ මඟපෙන්වන ව්‍යාපාරයක් ලෙස ශක්තිමත් වියයුතු වන්නේ ඒ නිසා ය .

ජාතික සම්පත් රැකගැනීම උදෙසා අවශ්‍යය පුළුල් සමාජ-දේශපාලන ව්‍යාපාරයක් යනු කුමක්ද?

MCC සහ 1000/= ව්‍යාපාරය දේශපාලන න්‍යාය පත්‍ර තුළ අරගල අඩපණ වන ආකාරය පිළිබඳ පාඩම් අපට කියා දෙනවා සේම, අරගලයක් සාර්ථකව ජයග්‍රහණය දක්වා රැගෙන යන්නේ කෙසේද යන්න පිලිබඳ උදාහරණ රාශියක් වර්තමාන සමාජය තුළ දක්නට තිබේ.

එප්පාවල පොස්පේට් නිධිය සුරැකීමේ ව්‍යාපාරය, ගොවි ණය අහෝසිකරගැනීමට උතුරුමැද පළාතේ ගොවි උපවාසය, සයිටම් අරගලය මෙන්ම මේ දිනවල ඉන්දියානු ගොවියන් ගොවි පනත් තුනකට එරෙහිව දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය ඒ සඳහා වූ උදාහරණ කිහිපයකි.

නැඟෙනහිර බහාලුම් පර්යන්තය අදානි සමාගමට බදු දීම භූ-දේශපාලනික බල අර්බුදය තුළ ඇති වී තිබෙන ඉන්දියානු බලපෑමකට ලඝු කිරීම, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රියාත්මක කරගෙන එන නවලිබරල් පුද්ගලීකරණ වැඩසටහනට එරෙහිව ප්‍රබල දේශපාලනික ව්‍යාපාරයක් ගොඩනැඟීම ට පවතින බාධාවක් බව තේරැම් ගැනීම වැදගත් වේ.

ඉහළ යන රාජ්‍ය ණය නිසා, රාජ්‍යයේ ව්‍යවසායකත්ව හැකියාව සීමාවී ඇති බවත්, දේශීය/ විදේශීය පුද්ගලික ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට පුද්ගලීකරණය, කම්කරු නීති, බදු ප්‍රතිපත්ති, පොදු සම්පත් පිළිබඳ පවතින නීති ලිහිල් කිරීමට අවශ්‍ය බවට වත්මන් ආණ්ඩුව ද ගෙනයන ප්‍රචාරණ ව්‍යාපෘතිය පරාජය කළ යුතුය. නැඟෙනහිර පර්යන්තය බේරා ගැනීමේ අරගලය එයින් පරිබාහිර සටනක් නොව එකට සම්බන්ධ වී තිබෙන ක්‍රියාවකි.

මේ පුළුල් අරගලයට අවශ්‍ය නායකත්වය දෙනවා වෙනුවට ආර්ථික-ජාතිකවාදය ‘දේශීය ව්‍යාපාර සහ දේශීය ආර්ථිකය‘  පිළිබඳ වූ සීමාසහිත (limited) වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලබයි.

ඔවුන්ගේ මෙම දැක්ම, ප්‍රමුඛ වැඩපිළිවෙල වූ ගොවියා, ධීවරයා සහ කම්කරුවාට තමන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කිරීම වෙනුවට දේශීය වෙළෙඳ සහ මුල්‍ය ප්‍රාග්ධනය හිමි පන්තිය යටතේ ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රමුඛ වන ප්‍රතිපත්ති ඉදිරියට ගනිමින් සිටී. මේ ක්‍රියා මාර්ගය තුළින් ජාතික සම්පත් සහ පොදු සේවා ආරක්ෂාවන ආකාරයක  පුද්ගලීකරණයට වැට බැඳීමක් සිදු නොවේ. 

PPP ප්‍රහාර ව්‍යර්ථ කිරීමට අරගල කරන වෘත්තීය සමිති මෙන්ම ඉඩම් බහුජාතික සමාගම්වලට පැවරීමට එරෙහිව සටන් කරන ගොවියන් ප්‍රමුඛ වූ පුළුල් සමාජ-දේශපාලන ව්‍යාපාරයක් තුළ පුද්ගලීකරණ වැඩ පිළිවෙල වෙනුවට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වරප්‍රසාද ශක්තිමත් කරන විකල්ප නිෂ්පාදන-සේවා සැපයීමේ මාර්ගයන් ගවේෂණය හා අත්හදා බැලීම කළයුතුය.

නැඟෙනහිර බහාලුම් පර්යන්තය රැකගැනීමේ ව්‍යාපාරය ඉදිරිපත්කර ඇති ‘වරායේ වැඩකරන ජනතාව සතු පර්යන්තයක්‘ ලෙස සංවර්ධනයකර පාලනය කිරීමේ යෝජනාව එවැනි විකල්පයකි.

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *