ඉන්දියානු ගොවි අරගලය, ‘අදානි සමාගම‘ හා නැඟෙනහිර ජැටිය.

දහස් ගණනක් ඉන්දියානු ගොවියෝ දැන් සති කිහිපයක සිට දිල්ලි නගර සීමාවේ කඳවුරුලාගෙන මෝදී ආණ්ඩුවේ ගොවිබිම් ප්‍රතිපත්තියට විරෝධය පාමින් සිටිති. මෑත ඉතිහාසයක සිදු වුනු විශාලතම ගොවියන්ගේ උද්ඝෝෂණය වන මෙය සුවිශේෂ වන්නේ එනිසාම නොවේ. වසංගතයක ගැලී සිටියදී, දේශීය ආහාර නිෂ්පාදනයේ, ආහාර ප්‍රාදේශීයව බෙදා හැරීමේ වැදගත්කම අප ප්‍රත්‍යක්ෂව අත්දකිමින් සිටින විට ඉන්දියානු ආණ්ඩුව කෘෂි සමාගම් ශක්තිමත් කිරීමටත්, ඔවුන්ට නීතියෙන් නිර්මුක්තිය, නොඑසේනම් නීතියෙන් නිදහස් කිරීමට පනත් පැනවීමයි.

විශාල වශයෙන් කුඩා ගොවියන් ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින රටක් වන ශ්‍රී ලංකාවේ ගොවියන්ට ඉන්දියානු ගොවියන් අනතුරු අඟවීමක් කරයි. විසිවෙනි සංශෝධනය විසින් සාමාන්‍ය ජනතාවට තමන්ගේ අයිතීන් දිනා ගැනීමට, තිබෙන ආර්ථික-දේශපාලන- සංස්කෘතික අයිතීන් රැක ගැනීමට අධිකරණය භාවිතා කිරීමට තිබුණු අයිතිය නැතිවීමත්, 2021 අයවැය හරහා ආණ්ඩුව සෘජුව කෘෂි සමාගම් සඳහා සහන සැපයීමත් සමඟ සුළු පරිමාණ ගොවියන්ගේ ඉදිරි අනාගතය, ඔවුන්ගේ ආර්ථික ආරක්ෂාව අනතුරේ හෙළි ඇත.

ඉන්දියානු ගොවි අරගලය තුලින් අනාවරණය වන අනෙකුත් කරුණ වන්නේ අම්භානි, අදානි වැනි මෝදී ආණ්ඩුවේ ඇල්ම බැල්ම ලැබෙන විශාල පරිමාණ කොම්පැනි වෙතටයි. මෙයින් අදානි සමාගම ශ්‍රී ලංකාවේ අපිටත් වැදගත්. කොළඹ වාරයේ නැඟෙනහිර පර්යන්තයේ ඉන්දියානු ආයෝජකයා වන්නේ අදානි සමාගමයි. පෞද්ගලීකරණයට විරුද්ධ යයි නැවත නැවත කියමින් කොළඹ වාරය වැනි ආර්ථික මරමස්තානයක අලුත්ම ජැටිය ඉන්දියාවට දෙන්නේ කුමන දේශීය ආර්ථික උපක්‍රමයකට යටත්ව දැයි අසන්නට වියත්මගේ ආර්ථික විද්‍යාඥයින්ට අවශ්‍යයතාවයක් නොමැති බව පැහැදිළිය.

මේ අදානි සමාඟම ගුවන්තොටුපොළවල්, වරායවල්, කෘෂි නිෂ්පාදන පමණක් නොව තෙල් සහ ඛනිජ ද්‍රව්‍යය සඳහා කැනීම් අංශයේද නිරත වෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ කැනීම් සඳහා සටර් ගඟේ වතුර විශාල වශයෙන් ලබා ගැනීමට ප්‍රාන්ත ආණ්ඩුව අනුමැතිය ලබා දීමට එරෙහිව පරිසර ක්‍රියාකාරීන් සහ ගොවියන් උද්ඝෝෂණය කරමින් සිටී.

කෝවිඩ් පරයමින් ඉන්දියානු ගොවියන්, ඕස්ට්‍රේලියාවේ ගොවියන් සහ පරිසර හිතකාමීන් අදානි සමාඟමේ විනාශකාරී වැඩපිළිවෙලට අනුබල දෙන ආණ්ඩු වලට විරෝධය දක්වන්නට එක් රොක්වී ඇතත් ශ්‍රී ලංකාවේ අපි තාමත් කට්ට අස්සේ ඉන්න ගොළු බෙල්ලෝ වගේ බලාගෙන සිටිති.
මීට වසර කිහිපයකට කලින් මම දකුණු ආසියාවේ වෙළඳාම ගැන තොරතුරු සොයද්දී දකුණු ආසියාවේ අන්තර්ජාතික වෙළඳාමට කොළඹ වාරයේ ඇති වැදගත්කම තේරැම් ගැනීමට හැකිවිය. කොළඹ වාරයේ සිදුවන කන්ටේනර් හුවමාරු තුලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට පැමිණෙන ඒවා වේ. විශාල නැව් වලට ඉන්දියාවට කෙලින්ම යාහ අපහසු නිසා කොළඹ වරාය හරහා මේ සැපයුම් පැමිණේ. කොළඹ වාරාය මත යැපීම තමන්ගේ ආර්ථික ආරක්ෂාවට තර්ජනයක් නිසා ඉන්දියාවත් විශාකාපටිනම් වැනි ගැඹුරු වාරායන් ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.

කලාපීය වශයෙන් ඉතාම වැදගත් කොළඹ වාරායේ ජැටි, චීනයට, ඉන්දියාවට, ජෝන් කීල්ස් වැනි පුද්ගලික කොම්පැනි වලට දෙමින් නංවන්නට යන ශ්‍රී ලංකික ආර්ථික ශක්තිය පිලිබඳව, පොදුජන පෙරමුණු ආණ්ඩුවට ඇත්තේ ‘පර දැක්මක්’. බව කිව යුතුය. පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මේ ආර්ථික දැක්ම අනුව රටේ ආර්ථික සම්පත් විකිනුවාට පසුව ජාති ආලය වඩවා ගැනීමට දෙමළුන්ටයි, තම්බින්ටයි තඩි බාන්න ඉන්න දේශප්‍රේමීන්ගේ අවධානය පිණිස මේ සටහන වැදගත් වේ යැයි සිතමි.

අමාලි වෙදගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *