කොරෝනාවට වඩා භයානක වෛරසය?

“වයිරස් එකට වඩා මරණීය තර්ජනයක් අද මනුස්ස සංහතියට එල්ල වෙලා තියෙනවා. ඒක ගැනයි අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ”.  මේ ප්‍රකාශය මෑතකදී ” the virus is a wake up  wakeup call” යන මාතෘකාව යටතේ පරිසර වේදීන් දෙදෙනෙකු සමග පසුගියදා පැවැත්වූ සාකච්ඡාවක දී,  ඉන්දියාවේ අති දැවැන්ත පරිසර වේදිනියක් වන වන්දනා ශිවා මහත්මිය විසින් කරන ලද්දක්.

ඇයගේ  ව්‍යක්ත ඉදිරිපත් කිරීම් විලාසය, ඇය සමග උරෙනුර ගැටී කරුණු පැහැදිලි කළ කැනේඩියානු පරිසර වේදී ඩේවිඩ් සුසූකි මයාගේ හඬ මගේ අවධානයෙන් ගිලිහී යාමට පවා සමත් විය. 

මේ සටහන මම ඉදිරිපත් කරන්නේ එම සාකච්ඡා වේ සිංහල පරිවර්තනයක් ලෙස නොව, ඇය ඉදිරිපත් කළ කරුණු පිළිබදව සහ ඒවායින් අපට, අදට අදාළ කාරණා පිළිබඳව වැඩිදුර විග්‍රහයක් කිරීමේ අරමුණ සහිතවයි. 

වන්දනා ශිවා සහ ඩේවිඩ් සුසූකී යන දෙදෙනාම පාරිසරික විද්වතුන් වන අතර, දෙදෙනාම right livelihood award හෙවත් ‘යහපත් ජීවන පැවැත්ම’ පිළිබඳව වූ නොබෙල් ත්‍යාගයට නොදෙවෙනි ලෝක සම්මානයෙන්  පිදුම් ලද දෙදෙනෙක්. එහිදී වන්දනා ශිවා විසින් අවධාරණය කළ ප්‍රධාන කරුණු කීපයක් සාකච්ඡාවට බඳුන්  කිරීම සුදුසුයි කියා මා කල්පනා කළ නිසයි මේ සටහන ලියන්නේ. 

ඇය එදා ඉදිරිපත් කළ කරුණු අතර ප්‍රධානම තර්කය මුලින්ම සාකච්ඡා කරමු. 

” වයිරස් එක මාරාන්තික නෑ, හැබැයි ඊට වඩා මාරාන්තික වයිරස් එකක් තියෙනවා, ඒක තමයි අද ලෝකය පුරා පැතිරී තියෙන ‘ආහාර දාමයෙන්ගෙන් ලාභ ඉපැයීම’ නැමති ව්‍යාපාරික මාෆියාව” 

 ( Virus is not deadly, what is deadly is making profit from food system) 

ලෝකයේ බලවත්ම ආහාර නිෂ්පාදන සමාගම් විසින් අද ආහාර නිපදවීමට උපයෝගී කරගෙන තිබෙන ප්‍රධාන ඉලක්කය  කුමක්ද? ලාභ ඉපයිම. ආහාර කියන්නේ වඩාත්ම ලාභදායී ව්‍යාපාරයක් කියන එක බහුජාතික සමාගම් තීරණය කළේ අද ඊයෙ නොවෙයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එල්ල වුණු ප්‍රධාන අභියෝගයට මුහුණ දීමක් ලෙසයි. එහිදී ඔවුන් ‘දැවැන්ත ලෝක යුද්ධ’ වෙනුවට,  රටවල් ඇතුළත සිවිල් යුද්ධ මුල සිටම සැලසුම් කළ අතර, රසායනික කර්මාන්තයේ පැවැත්ම සදහා තමයි කෘෂි රසායන සහ රසායනික පොහොර කියන ව්‍යාපාරය ආරම්භ කළේ. 

මේ ආරම්භය තමයි හරිත විප්ලවය. ඒ ආරම්භය හරහා අද ‘ජාන විකෘති කරන ලද ආහාර ප්‍රවර්ධනය’ සහ ‘බීජ නිපදවීමේ අයිතිය’ සම්පූර්ණයෙන්ම සමාගම් කීපයක් අතට පත් කර ගැනීම දක්වා ගමනක් සාර්ථකව මෙහෙය වීමට ක්‍රියා කරලා තියෙනවා.  ඒවගේම මේ ක්‍රියාවලියේ අද ක්‍රියාත්මක වන අදියර තමයි ඝර්ම කලාපීය ගොවීන්ගෙන් ගොවිතැනේ අයිතිය උදුරා දමමින් ඉඩම් කොල්ලය ( land grabbing) පටන් ගත්තේ. MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කොම්පැක්ට් කියන්නේ මෙන්න මේක ලේසියෙන්ම කර ගන්න ස්ථාපනය කරපු මහාපරිමාණ සමාගම් වලට බැක්අප් කරන පෞද්ගලික ආයතනයක්.

බලන්න මේක අපේ රටට අදාළ වෙන්නේ කොහොමද කියලා. CIC කියන්නේ මොකක්ද? අද රටේ බීජ නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතනය. CIC පටන් ගත්තේ කෘෂි රසායන සහ තීන්ත වලින්. අද අපේ ගම්වල  එක ගොවියෙක් හොයාගන්න නෑ එළවළු බීජ හදන. කඩෙන්ම තමයි ගන්නේ. CIC කියන්නේ (Chemical industries of Colombo) කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් ඔෆ් කළම්බු. නමුත් අද ලංකාවේ මුලු කෘෂිකාර්මික ක්ෂේත්‍රයම (අධ්‍යාපන ආයතනයනුත් ඇතුළත්ව)  මෙහෙය වන්නේ ඒ අය. එන හැම ආණ්ඩුවක්ම පවා ඩෝල් කොම්පැනියට ඉඩම් දීලා තමයි කෘෂිකර්මය සංවර්ධනය කරන්න බලන්නෙ.  MCC එක ලෝකෙ පුරාම කරන්නෙ ඝර්ම කලාපීය පලතුරු හදන්න පුළුවන් ඉඩම් මුළුමනින්ම විකුණන්න පාර කපලා දෙනවා.  රටේ මිනිස්සුන්ට කන්න තියෙන පොල් වෙනුවට යුරෝපයට, ඇමරිකාවට  කැනඩාවට එවන්න අලිපේර කෙසෙල්, අඹ වවන්න තමයි ඒවා කරන්නේ. ගොවියන්ට ඒවා  වගාකරන ඒක තහනම් කරන නීති ගෙනෙයි ළඟදිම ඔන්න ඔය වැඩේ උන ගමන්. හොඳට  බලාගෙන ඉන්න. ඔන්න ඕවා කෙරෙන විදිහ බලන්නයි පාර්ලිමේන්තු පනත් වලට ජනමත විචාරණ උවමනා වෙන්නේ. 

මෙන්න මේ නිසයි කීවෙ අද ලෝකයේ ආහාර නිෂ්පාදනය කරන සිස්ටම් එක කොරෝනාවට වඩා වයිරස් එකක් කියලා. හැබැයි කොරෝනාව විවෘත කරල දුන්න මේ අවස්ථාව යොදාගන්න පුළුවන් ආපහු හිතන්න මේ මහාපරිමාණ ලාභ ලැබීමේ ජාලයෙන් බැහැර වෙලා, ජාතිකත්වය මත පදනම් වුණ ගොවිතැන් සංකල්පය ගැන හිතන්න.  ඒකයි මේ පණිවුඩයෙන් කියවෙන්නේ. බොරුවට ‘රෙන්ඩ බර වෙනකොට පිටිය හොයන’ ගෙවතු වගාව කරන්න නොවෙයි, ක්‍රමානුකූලව මේක ප්‍රතිපත්ති වලට අනුගත කරගන්න කියන එක සහ මිනිසුන් ගෙ හෘද සාක්ෂිය අවුස්සලා මේක කළ යුතුයි කියන එක තේරුම් කරළා දෙන්න. 

ආහාර කියන්නේ මනුස්සයාට ඖෂධයක්. ආහාර වලින් තමයි මිනිසාට ප්‍රතිශක්තිකරණය ලබා දෙන්නෙ. අද මිනිසා ජිවත් කරවන්න අවශ්‍යය වෙන්නේ මිනිසාගෙ ගිලිහී ගිය ප්‍රතිශක්තිකරණය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් මිස එන්නත් වලින් නොවෙයි. ඒවගේම කොරෝනා වෙලාවට විතරක්  ඉඟුරු කොත්තමල්ලි බීලා හරියන්නේ නෑ. මේ කෘෂිකර්මාන්තකරණයට අනුගතව  ඇති අපේ ගොවිතැන විසින් අද කරලා තියෙන ප්‍රධානම ව්‍යවසනය තමයි මිනිස්සුන්ට වස දිලා ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන්ම අඩාල කරල දාලා තියෙන එක. කණ්ඩ එලවළු ටික හදාගන්න ගෙවත්තටත්, බත හදාගන්න කුඹුරටත් තෙල් පොහොර ටික නැතුව කරගන්න බැරි තරමට මිනිස්සුන්ගෙ මනස තෙල් පොහොර වලට අවනත වෙලා. ලංකාව විතරක් නොවෙයි,  මේකට අද මුලු ලෝකයම නතු කරගෙන ඉවරයි. අන්න ඒකයි අපි ලිහා ගන්න ඕනෑ ගැටය. 

කොරෝනාව කියලා දෙන පාඩම මේකයි. ලෙඩේට එන්නත් නොවෙයි ලෙඩේට මුල හොයන්න ඕනෑ. ප්‍රතිකර්ම කරන්න අවශ්‍යය වෙන්නේ මූල බීජයට යි. කොරෝනාව රෝග ලක්ෂණයක් විතරයි, ඒකට බේහෙත් කරලා විතරක් මානව සංහතිය බේරා ගන්න බැහැ. 

“මහපොළොව සමග සමෝධානය තමයි අසමබරතාවය දුරලන්නේ” (Peace with earth will order the instability )

ඇයි ඇය මෙසේ කියන්නේ? අපි මෙය අපට ගලපා විදර්ශනා කළ යුතුයි නේද? පාරම්පරික ගොවිතැන විසින් ආහාර නිෂ්පාදනය කළේ කොහොමද? අතිරික්තයක් සහිතව, මහපොළොවට කීකරුව සහ ස්වාභාවික රිද්මයට අනුගතව තමයි ඒ ආහාර නිෂ්පාදනය කළේ. මේක කාලාන්තරයක් තිස්සේ කරගෙන ආවේ පරිසරයට සමාන්තරව පරිසරයෙන් ගන්න දෙය නැවතත් ඒ ආකාරයෙන්ම ඒ පරිසරයට මුදා හරිමින්.

ඒත් අද මේ කෘෂි කර්මාන්තය කියන යක්ෂයා මොකද කරන්නේ? පොළොවෙ තියන සාරය ඉවත් බවක් නැතුව උරාගන්නවා. ඒ කරලා කෘතිම රසායන මුදා හරිනවා පරිසරය ගැන අබමල් රේණුවක්වත් නොතකා. 

බොහෝ කෘෂි නිය්‍යායාචාර්යවරු තර්ක කරන්නේ එහෙම නැතුව වැඩිවන ජනගහනයට කන්න දෙන්නෙ කොහොමද කියලා? මම අවධාරණයෙන් කියන්නෙ හොඳ ට හිතලා බලන්න, අද මහා පරිමාණ කෘෂි නිෂ්පාදන වලින් කොච්චර ප්‍රමාණයක් අපතේ හරිනවාද කියලා. ගොවි බිමේ ඉඳලා පිඟානට එන කොට 60% ම අපතේ හරිනවා මොන විදිහේ ආහාර සංරක්ෂණ ක්‍රම උපයෝගී කර ගත්තත්. 

ප්‍රාදේශීය පරිභෝජනයට ප්‍රාදේශීය නිෂ්පාදන කියන සංකල්පය තමයි අපි ප්‍රගුණ කළ යුත්තේ. එතනදි පුළුවන් මේ මහපොළොව එක්ක සාමය ගොඩනගන්න සහ ගොවියන්ට කකුල් දෙක සමාන්තරව තියලා බය නැතුව, හිරිකිතයක් නැතුව හිට ගන්න.

අද මේ තුලනය බිඳිලා තියෙන නිසා තමයි, වන ජීවීන් සහ ක්ෂුද්‍රජීවීන් අඩු වෙලා ගිහින් උන්ගෙන් යැපුණු වයිරස් තමන් ගේ පැවැත්ම සඳහා වෙනත් පරිපථ ආක්‍රමණය කරලා තියෙන්නේ. ඒක තමයි මේ කොරෝනාව. අනික අපි හිතනවා අපිට විතරයි බුද්ධිය තියෙන්නේ වෙනත් ග්‍රහලෝක වල ජනාවාස පිහිටුවා ගන්න. හැබැයි ඔය වයිරස් වගේ ජීවීන්ට අපට වගේම, එයාලගේ පැවැත්ම තහවුරු කරගන්න බුද්ධිය තියනවා.  අන්න ඒක අවතක්සේරු කරපු නිසා තමයි චීනය අඟහරු ලෝකෙ බෝංචි හදන කොට කොරෝනා මිනිස්සුන්ගෙ පෙනහලු වල සැල්වීනියා වවන්න ගත්තෙ.

මහපොළොවට ‘ඉඩම්’ කියන ආර්ථික වචනයෙන් පරිභව නොකර මහපොළොව කියන නමින් අමතලා එහි ආත්ම ගෞරවය රැක ගන්න බලමු.  

“ආර්ථිකය කියන්නේ මිනිසා ගේ ජීවනෝපාය සලසන ක්‍රමවේදය මිසක් සල්ලි හම්බ කරන එකක් නොවෙයි” (Economy is art of living and not making money) 

ඇත්තටම ආර්ථිකය කියන්නෙ මොකක්ද? ‘අර්ථ ධර්ම කාම’ කියන තුන එකටයි යන්නේ. ‘අර්ථ’ කියන්නේ ජීවිතය ගෙනියන්න ඕනෑ කරන අවශ්‍යතා ටික සපයා ගැනීම.  ඒක කරන්නෙ අර ‘කාම’ කියන පංච කාම ටික සනසවා ගන්න. හැබැයි ‘ධර්ම’ කියලා දෙයක් එක්ක ඔය දෙක බැලන්ස් කරන්න ඕනෑ. ධර්ම කීවෙ සාර ධර්ම; චාරයක් ඇතිව පංච කාම සංතර්පනය කළයුතුයි කියන එක.  

ඒත් අද ඔය තුනේ කිසිම බැලන්ස් එකක් නෑ. අද මැක්‍රො ගත්තත් මයික්‍රො ගත්තත් ලාබෙ නැත්තං කරන්න බැහැ. පරිමාණය ලොකු නැත්තං කරන්න බැහැ. පරිමාණය ලොකුවට කරනවිට ලැබෙන ලාභය එක තැනක ගොඩ ගැහෙනවා. ඔය ලාභ උපරිම කිරීමේ ‘බටහිර සංකල්පය’ අපට එන්නේ අර අපේ තියන කුසල් රැස් කිරීම කියන තණ්හා ආකල්පයත් එක්ක ‘දෙමුහුන්’ වෙලා. එහෙම උණාම අපේ කලාපයේම ධනවාදය, අමුතුම කොස්ටියුම් එකක් ඇඳ ගන්නවා. එතකොට තියරිය වෙන්නේ බල්ලො මරලා හරි සල්ලි හොයන්න සහ ගොඩ ගහ ගන්න එක. ඒකයි අපේ රටවල ආර්ථික විද්‍යාඥයින් පරණ ආර්ථික නිය්‍යායන්ම කරේ තියාගෙන ඉන්නේ අතහරින්නේ නැතුවම. 

හැබැයි ඇත්ත වශයෙන්ම අද නවීන ලෝකයේ ආර්ථික විශේෂඥයන්ගේ පවා අවධානය යොමු වී තිබෙන්නේ  සල්ලි හෙවීමේ පරණ ආකෘති අතික්‍රමණය කරමින්, සමාජයන් තිරසාර ආර්ථික නිය්‍යායන් වෙත ගමන් කරවීමට. 

අන්න ඒ ආර්ථික න්‍යායන් වල ප්‍රධාන ඉලක්කය වන්නේ ආර්ථිකය සදහා ජීවත් වීමේ කලාවන් නිර්මාණය කරන එකට මිස ‘ජීවත් වෙන්න මැරෙන්න හදන’ එකට නොවෙයි. වත්මන් පරිභෝජන ආර්ථිකයට අනුව කරන්නෙ පරිභෝජනය සදහා සල්ලි හොයන්න මැරෙන එක මිස ජීවත් වීම නොවෙයි. මෙන්න මේ දෙය තමයි වන්දනා ශිවා තම ජීවිතය කැප කරමින් ඉන්දියාව පුරා ඉන්න ගොවි ජනතාවට පහදලා දෙන්නේ. සල්ලි දීලා පොහොර ගෙනත්,  ඒ විෂ මහපොළොවට එකතු කරලා, තිබුණු පිරිසිදු වතුර ටික අහිමි කරගෙන,  දැන් බොතල් වතුර බොනවා. අනාගතයේදී පස්ස හෝදන්නත් බහුජාතික සමාගම් වලින් වතුර සල්ලි වලට ගන්න වෙයි. පොහොර සහනාධාරය ඉල්ලලා පිංසෙණ්ඩු වෙන එක පැත්තක තියලා, අපේ ක්‍රියාකාරීන්  කවදද ඔන්න ඔය දේ තේරුම් ගන්නේ? මේක තමයි මහ ජනතාව තමන්ගේ පැවැත්ම ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය. පක්ෂ දේශපාලකයින්ට කවදාවත්ම මේවා තේරුම්  ගන්න බැහැ.

කොරෝනාව  ලබලා දුන්න අවස්ථාව තමයි මෙන්න මේ සල්ලි එක්රැස් කරන්න මැරෙන සම්ප්‍රදායික ආර්ථික රටාව වෙනුවට සැනසිල්ලේ ජීවත් වීමේ කලාව මිනිසුන්ට කියා දීම. 

“අපේ සමස්ත ක්‍රියාකාරීත්වය වතුරේ යනවා, අපි පරිභෝජනය කරන හැම දෙයක්ම ලබාදෙන්න මහපොළොව තම ශක්තිය කොච්චරක් වැය කරනවාද කියන එක නොදන්නා විට.” (our activism is lost if we don’t know the cost of what we consume)

ආහාර දාමයට වන හානිය සහ ප්‍රාථමික ආහාර වෙනුවට ද්විතිය තෘතීය සහ ඉහළම මට්ටමේ භාණ්ඩ පරිභෝජනය තමයි අද බොරු “සස්ටේනබල්’ කියන මිත්‍යාව මාර්කට් කිරන්නෙ.  අපි ඉස්සර බීපු කහට උගුර වෙනුවට කට ඇලෙන කිරි තේ කෝප්පය ගැන ටිකක් හිතන්න.  ඇත්තටම ඕනැද අපේ ඇඟට එච්චර සීනි. මොකද්ද අද එකෙන් වෙලා තියෙන්නේ? පොඩි ළමයගෙ ඉඳලම දියවැඩියා කාරයො. 

පැළෑටි වලින් ගන්න ධාන්‍ය අපි ආහාරයට ගන්නවා වෙනුවට, ධාන්‍ය සත්තුන්ට දීලා සත්තුන්ගෙන් හදන බේකන් වල වැය ශීර්ෂය කොහොමද? කැනෝලා වවලා බයෝ ඩීසල් හදලා, ප්‍රතිජීවක ඉන්ධන (renewable energy) වලින් රසායනාගාර ඇතුළේ ‘ඩිජිටල් මස්’  (lab grown meet) හදනවා. බිල් ගේට්ස් ලගෙ අලුත්ම පරිසර හිතකාමී නිෂ්පාදන තමයි මේවා. මොහොතක් හිතන්න මේවාගේ ආන්තික  පිරිවැය. GMO සෝයා වවන්නේ සත්ව ආහාර ලෙස. ඒවා තමයි අපිත් සෝයා මීට් කියලා කන්නේ. යුරෝපයේ සත්තුන්ට කන්න දෙන්න ගෞතමාලාවේ දවසට $ 1.50  ගානෙ කම්කරුවන්ට ගෙවලා GMO සෝයා වවනවා. මොකද්ද එතන තියන සාර ධර්මය. 

පාරිසරික පියසටහන (Ecological footprint) කියන්නේ  ජීවත් වීමේදී එක් මනුස්සයෙක්  පරිසරයට කොච්චර බරක් දානවද කියන එකට. මෙතෙන්දි ප්‍රධානම බර එකතු කරන්නේ, අපි පරිභෝජනය කරන භාණ්ඩ නිෂ්පාදනය සදහා බැරවන පරාසරින වැය ශීර්ෂය. ඒක ටිකක් සංකීර්ණයි, උදාහරණයක් ලෙස, කැනඩාවේ ග්‍රීන් හවුස් එකක තක්කාලි කිලෝවක් වවනවට වඩා ගොඩාක් අඩු වියදමක් යන්නේ ගෞතමාලාවෙ ඒකම හදන්නේ. හැබැයි ඒක කැනඩාවට ගුවන් මගින් ගේන්න යන වියදම, ගත්තම පරිසරයට වැඩි වැය ශීර්ෂයක් යන්නේ කොතනින් ද කියන එක පැහැදිලි යි. 

ඇගලුම් කර්මාන්තය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය උණාට, ඒ ඇඳුමක පාරිසරික වියදම බැලුවොත් ecological footprint එක ගැන හිතන්නත් අමාරුයි. චීනෙ හදන රෙදි ලංකාවට ගෙනල්ලා මහලා ඇමරිකාවේ විකුණනවා. මොන තරම් වියදමක් පරිසර පද්ධතියට කරනවද? 

අද වෙළෙදපලේ value added කියන සංකල්පයේ තියෙන්නේ ඇත්තටම value add කරන එක විතරයි.  හැබැයි භාණ්ඩයේ ගුණය ඇඩ් කරන්නේ නෑ. එතනදි කරන්නෙත් වංචා සහගතව වටිනාකම් එකතු කිරීමක් මිස ගුණාත්මක වටිනාකමක් නොවේ. 

භාණඩ ප්‍රවාහනය වෙනුවට (local produce for local consumption) දේශීය පරිභෝජනයට දේශීය ආහාර කියන සංකල්පය පුළුවන් තරම් ප්‍රාදේශීය මට්ටම දක්වා ගෙනයාම තමයි අපේ පරිභෝජනයේ නිශ්ෂ්පාදන පිරිවැය අවම කල හැකි එකම ක්‍රම වේදය. ඒක තමයි කොරෝනාව ගෙනල්ලා  දුන්න  දායාදය.

සුමනා විජේරත්න විසිනි.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා,

Former project specialist, sustainable cities international, Vancouver Canada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *