2021 අයවැයෙන් නොලැබි අවස්ථාව දිනාගැනීමට සංවිධානය වෙමු !

වසංගතයක් මධ්‍යයේ ඉදිරිපත් වූ අයවැය හා ප්‍රතිපත්ති කතා වලින් අනාවරණය වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන-ආර්ථික ව්‍යුහයයි. එය මර්දනකාරී රාජ්‍යය සහ පෞද්ගලික ආයතනික ලොබිය යන ඔලු දෙක සහිත සියාමිස්  නිවුන් ශරීරයක්. පොදුජන පෙරමුණු රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තමන්ට බලයට ඒමට ආධාර කල දුප්පත් වැඩකරන ජනතාව බැහැර කරමින් පෞද්ගලික වෙළෙඳ පන්තිය පෝෂණය කිරීමට හා පහසුකම් සැලසීමට ප්‍රතිපත්තියක් අයවැය මගින් ඉදිරිපත් කර තිබෙනවා.

තම ශ්‍රම ශක්තියෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යන වැඩකරන ජනතාවගේ ආර්ථික දුක්ගැනවිලි හා කළකිරීම් ආමන්ත්‍රණය කරනවා වෙනුවට පොදුජන පෙරමුණු රජය ඩ්‍රෝන තාක්ෂනය, නිරීක්ෂණ යෙදවූම්, හමුදා නිලධාරීන් සහ පොලීසිය සමන්විත සිය මර්දනකාරී යාන්ත්‍රනය ශක්තිමත් කර තිබේ. කැරට් අලය වෙනුවට බැටන් පොල්ල ආදේශ කර ඇත.

වැඩකරන ජනතාව 2021 අයවැය තුලින් අපේක්ෂා කළ බොහෝ දෑ තිබුණි.  ඔවුන් අලුත් ආණ්ඩුව පිහිටුවා ගන්නට පෙරමුණ ගත්තා. පසු ගිය අවුරුදු 72ක් තුළම නැවත නැවත පාවාදීම් තිබියදීත්, යහපත් රැකියා, නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රවේශයක්, ඉඩම් අයිතිය, ණයගැතිභාවයෙන් හා දරිද්‍රතාවයෙන් නිදහස් වීම  යන කාරණා පිලිබඳව ඇති බලාපොරොත්තු සෑමවිට ම ඔවුන් තුළ ඇත.

75 වන අයවැය ඉදිරිපත් වන්නේ විශේෂ මොහොතකයි. වසංගතය පාලනය කිරීමට ඉදිරිපත් වූ ඇඳිරි නීතිය ඇතුළු සංචරණ සීමා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පවතින කඩා වැටීම් හෙළි කර තිබෙනවා.  සාමාන්‍ය ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම් සම්පුර්ණයෙන් ම බිඳ වැටිලා තිබෙනවා.  අවිධිමත් අංශයේ අවධානම් ස්වභාවය, නිවාස නැතිකම, ඉතිරිකිරීම් නොමැතිකම, දුර්වල මහජන සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා, ගෘහස්ත ණය වැඩිවීම යන යථාර්තයන් මිලියන සංඛ්‍යාත ජනතාවක් මත දැවැන්ත පීඩනයක් ඇති කරමින් තිබෙනවා.

අයවැය මගින් ඉහත කරැණුවලට යම් ආකාරයක සහනයක් ගෙන ලැබේවි කියා මිනිසුන් බලාපොරොත්තු වුනා. ජීවත් වීමට සරිලන වැටුප් සමඟ යහපත් රැකියා උත්පාදනය කිරීම, ධනය සහ සම්පත් සාධාරණ ලෙස බෙදීයෑම, තිරසාර පාරිසරික ලෙසත්, වැඩකරන ගැහැනුන් සහ පිරිමින්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ සිහින සැබෑ කරගැනීම සඳහා ජාතික ආර්ථිකය යළි ගොනුගත කිරීමට අවස්ථාවක් කරගැනීමට අයවැය නියමිතව තිබුණි.

අයවැය කතාව පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් වෙන අතරතුර ම  කොටස් වෙළෙඳ පොළේ කොටස් මිල ඉහළ ගියා. කුඩා ව්‍යාපාරික ප්‍රභූන් කණ්ඩායමක් මේ මොහොත අත්පත් කරගෙන. ආණ්ඩුව ඔවුන් හිටගෙන ඇත්තේ කාගේ පැත්තේදැයි ද කියා වැඩකරන ජනතාවට දන්වා තිබෙනවා.

කඩා වැටෙන ධනේශ්වර රාජ්‍යය ගලවා ගැනීමට කිසිම ජනප්‍රියවාදී ආණ්ඩුවකට නොහැකි බව පොදුජන පෙරමුණු ආණ්ඩුව පෙන්වා දී තිබෙනවා. එය සංවිධානාත්මක කම්කරු පන්තිය, ශිෂ්‍යයින්  සහ වමේ දේශපාලනයේ  නියැලී සිටින්නන්ට  රිදී රේඛාවකුත් පෙන්වා දී තිබෙනවා. වාමාංශික පන්ති සන්ධානයක් නායකත්වය දෙන විකල්ප මාවතක් සඳහා අවශ්‍යය  දේශපාලන-ආර්ථික යාන්ත්‍රනය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. ඊට පළමු පියවර ලෙස 2021 අයවැය වැඩකරන ජනතාවගේ පන්තියේ දෘෂ්ටිකෝණයකින් විශ්ලේෂණය කිරීමට අප යෝජනා කරනවා .

කෘෂිකර්මය

කෘෂිකාර්මික වෙළෙඳපොළ තුල පවතින පෞද්ගලික ඒකාධිකාරය තුරන් කිරීම:

කෘෂි යෙදවුම්, ගොවිතැන් ධීවර වැවිලි හා අපනයන කෘෂිකාර්මික අංශවල අගය එකතු කිරීම සහ බෙදා හැරීම යන අංශයන් වල දනටමත් පවතින ඒකාධිකාරය පෝෂණය කිරීම අයවැය යෝජනා මඟින්  සිදුවෙනවා. මෙමඟින් අධික ණය බරක් ගොවියන් මත පටවමින් දැඩි අර්බුධයකට ගමන් කරමින් තිබෙන ආර්ථික අර්බුධය තීව්‍ර වේවි.

කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම, ගබඩා කිරීම, අගය එකතු කිරීම සහ බෙදා හැරීම සම්පුර්ණයෙන්ම වාගේ පාලනය කරනු ලබන්නේ දේශපාලන සම්බන්ධතා ඇති මහාපරිමාණ වෙළඳුන් ඇතුළු අතරමැදියන් විසිනි. දැනටමත් දුර්වල ආර්ථික ශක්තියක් සහිත ගොවීන්ගේ, ධීවරයින්ගේ සහ කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයින්ගේ ජීවන තත්වයන් තවදුරටත් පිරිහීමට ලක් නොකර ඔවුන්ට අවශ්‍යය  තාක්‍ෂණය, වෙළඳපල සහ ණය සඳහා ප්‍රවේශය පුළුල් කළ හැකි ආකාරය ප්‍රකාශ කිරීමට අයවැය අසමත් වෙලා තිබෙනවා.

ශුන්‍ය-පිරිවැය කෘෂිකර්මාන්තය:

කාර්මිකකරණය, රසායනික ද්‍රව්‍යය මත පදනම් වූ ඒකීය භෝග ප්‍රධාන ධාරාවට වඩා වෙනස්ව කිරි නිෂ්පාදනය, බීජ ස්වයං පාලනය සහ කෘෂි පාරිසරික වගා ක්‍රම ඒකාබද්ධ වන අන්තර්-යැපුම් යාන්ත්‍රණයක් ශුන්‍ය-පිරිවැය කෘෂිකර්මය විකල්පයක් සපයයි. කිරි ගවයින් ආනයනය කිරීම සඳහා යොමු කර ඇති අයවැය ප්‍රතිපාදන වඩා පලදායි ලෙස වියදම් කළ හැක්කේ ශුන්‍ය අයවැය කෘෂිකර්මාන්තයේ ආයෝජනය කිරීමෙන් වන අතර එය A ශ්‍රේණියේ කිරි සපයන දේශීය ගවයින් මත රඳා පවතී. කෘෂි ව්‍යාපාර සමාගම්වලට සහනාධාර ලබා දීම වෙනුවට ගොවි සංවිධාන, සමුපකාර සහ කාන්තා කණ්ඩායම් සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, සහනදායී ණය සපයමින් ලබා දීම පුළුල් වාන් දොරටු නිර්මාණය කරනු ඇත.

ණය අවලංගු කිරීම සහ සමුපකාරික ප්‍රජා-මුලික ණය ක්‍රම ඇති කිරීම:

වසර ගණනාවක් තිස්සේ කෘෂිකාර්මික හා ධීවර කර්මාන්තය සඳහා ණය ලබා දීම වාණිජකරණයත්, කෘෂිකර්මාන්තය කාර්මීකරණය කිරීමත් නිසා යැපුම් මට්ටමෙනුත් පහලට නොවැටී ආපසු ගෙවිය නොහැකි අති විශාල ණය කන්දක් ගොවියන්, ධීවරයින් සහ කුඩා නිෂ්පාදකයින් මත ගොඩ ගැසී ඇත. සමෘද්ධි වැනි රජයේ මැදිහත් වීම් තිබෙන ණය යෝජනා ක්‍රම නැවත ඇගයීමට ලක් කළ යුතු අතර සමුපකාර ක්‍රමය පාදක කරගත් ප්‍රජා ණය යාන්ත්‍රණයන් තුල මූල්‍ය ප්‍රතිපාදන ආයෝජනය ඉහල දමමින් ඒවා බල ගැන්විය හැකි ආයතනික යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුය.

පාරිසරික ඉඩම් පරිහරණ පිළිවෙත්:

අයවැය යෝජනා කරන පරිදි වගා කළ හැකි සියලු ඉඩම් වගා කිරීමට යෙදවීම ධනාත්මක වර්ධනයකි. ඒ අතරම, වගාව පුළුල් කිරීම සඳහා ගොවීන්ගේ හැකියාවන් ඉහළ නංවන බීජ අයිතිය, වාරිමාර්ග පහසුකම්, යන්ත්‍රෝපකරණ සහ පාරිසරික ඉඩම් පරිහරණ තාක්ෂණයන් වැනි අන්තර් සම්බන්ධිත සාධක රජය අවබෝධ කර ගත යුතුය. වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩි කල පමණින් අස්වැන්න වැඩි නොවන බවත් ඒකීය භෝග වගාව, අධික රසායනික පොහොර බෙහෙත් භාවිතය නිසා ඉඩම් මුඩු ඉඩම් වන බවත් ආණ්ඩුව අවබෝධ කරගත යුතුයි. 

ආහාර ස්වෛරීභාවය:

අපගේ අදහසට අනුව යහපත් දූරදර්ශී කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ගොවීන් සහ ධීවරයින් සවිබල ගැන්වීම තුලින් ආහාර ස්වෛරීභාවය සහතික කිරීමටත්  අපනයන වෙළඳපොළට ළඟා වීමට කුඩා ගොවීන්ට සවිබල ගැන්වීමත් සිදු කරයි. පුද්ගලික අංශය ඉලක්කගත ආයෝජන වෙනුවට ප්‍රජා පාදක ආයෝජන තුලින් සැබෑ ආර්ථික ප්‍රතිලාභ විශාල වශයෙන් ගොවීන්ට, ධීවරයින්ට සහ කුඩා වතු හිමියන්ට ව්‍යාප්ත වනු ඇති අතර ඒ තුලින්  ඔවුන් අනිසි ලෙස වෙළඳපොළ බලවේගයන්ගේ සුරාකෑමට නිරාවරණය වීම වැළකෙනු ඇත.

අධ්‍යාපනය

COVID-19 වසංගතය පැතිරීමත් සමඟ, බාලාංශයේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනය ලබාදීම සහ ඉගැනීම  සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර ඇත. විකල්පයක් ලෙස භාවිතා කරන දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මගින් පන්ති වරප්‍රසාද ප්‍රතිනිෂ්පාදනය කර ඇති අතර පංති අතර මෙන්ම ප්‍රදේශ අතර සම්පත් අසමාන ලෙස බෙදා යෑම ඉතාම හොදින් පෙන්වා දී තිබෙනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම:

බොහෝ පාසල්වල ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් තබා ප්‍රාථමික යටිතල පහසුකම් වත් නොමැත. වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපනයට කෙරෙන ආයෝජන අඩු වීම අඩු ආදායම්ලාභී පසුබිම්වල සිටින දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතියට බාධා වීමට හේතු වී තිබේ.

අධ්‍යාපනයට විවිධ අරමුණු ඇත:

අධ්‍යාපනයේ එකම අරමුණ රැකියා කළ හැකි ශ්‍රම බලකායක් බිහි කිරීම බව රජය උපකල්පනය කරයි. නමුත්, විචාරශීලි චින්තනයක් හා පරිකල්පනයක් ඇති පුද්ගලයෙකු සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍යය අලුත්, නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරමින් පුළුල් ලෙස දායක වනු ඇත.

සෞඛ්‍යය

දුර්වල මහජන සෞඛ්‍ය පද්ධතිය:

ශ්‍රී ලංකාව සිය පොදු සෞඛ්‍ය පද්ධතියේ සීමාවන් අත්විඳිමින් සිටී. ගෝලීය වසංගතයක් මධ්‍යයේ ඉදිරිපත් කරන ලද අයවැය රට වැසියාගේ  ප්‍රමුඛ අවශ්‍යතා නොසලකා හැර ඇත. සෞඛ්‍ය අර්බුදයකට විසඳුම් සෙවීම සඳහා පොදු සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි අරමුදල් අවශ්‍ය වේ. අරමුදල් වැඩි කිරීම මගින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, පර්යේෂණ හා සංවර්ධන අංශය ශක්තිමත් කරනු ඇති අතර ශ්‍රී ලංකාවට දක්ෂ සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙකු රාජ්‍ය සේවය තුළ රඳවා ගැනීමට හැකි වේ.

ශ්‍රම බලකාය

ශ්‍රී ලංකා ආර්ථිකයේ වටිනාකම් නිෂ්පාදනය කරන වැඩකරන ජනතාව වශයෙන් අයවැය අපට ඉතාම වැදගත්. වත්මන් ආර්ථික අර්බුදය ඇතිවී තිබෙන්නේ නිෂ්පාදන ක්‍රමයේ අර්බුදයක් නිසා මිස ශ්‍රම බලකායේ අර්බුදයක් නිසා නොවන බව අපි අවධාරනය කරමු. එබැවින්, අර්බුදයට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් පනවන සියලුම ආකාරයක කම්කරු නීති  ප්‍රතිසංස්කරණ අපි ප්‍රතික්ෂේප කරමු.

2021 අයවැය යෝජනා හාම්පුතුන්ට පක්ෂ වේ.

පැය 8 වැඩ මුරය කප්පාදු කිරීම:

රාජ්‍යය අංශයේ සේවයේ නියාලුන්ට දෙවන රැකියාවක් කිරීමට ඉඩ ප්‍රස්තා ඇති කරන යෝජනාව වැඩ කරන ජනතාව දිගු කාලයක් තිස්සේ අරගල තුලින් දිනා ගත් අයිතීන් කප්පාදු කරන කරන අතර නියමිත අයුරු ජීවත්වීමට සරිලන වැටුප් හා වැටුප් දිරිගැන්වීම්වල අවශ්‍යතාවය නොසලකා හරියි. බහුවිධ රැකියා කිරීම වැඩකරන ජනතාවට, ඔවුන්ගේ සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කරනු ඇත. දැනටමත් වැඩකරන ජනතාව සහ ඔවුන්ගේ දරුවන් රැක බලාගනිමින් ඔවුන් පෝෂණය කිරීම සඳහා ගෘහාශ්‍රිතව විශාල ලෙස ශ්‍රමය වගුරුවන වැඩකරන කාන්තාවන්ගේ යහපැවැත්මට ඉතා නරක ලෙස බලපානු ඇත.

නම්‍යශීලී කම්කරු නීති:

තාවකාලිකව ජීවනෝපායන් අහිමිවීම ආවරණය කිරීම සඳහා වන රක්ෂණ ක්‍රමයකට දායක වීම තුලින්,  කම්කරු නීතිවල දක්වා ඇති පරිදි සේවය තොර කළ අවස්ථාවන්හිදී නියමිත වන්දි මුදල් ගෙවනාවාට වඩා   ලාභදායී යැයි සේවායෝජකයින්ට හැඟී යාමෙන් අනිසි විපාක වැඩකරන ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇත.

විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ කෙරෙහි ඇති බලපෑම:

පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාව විශ්‍රාම යන වයස 60 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව ඔවුන්ගේ EPF විශ්‍රාම වැටුප් අරමුදල් සඳහා වන හිමිකම් පෑමට ද බලපානු ඇත.

සමාජ ආරක්ෂාව පුද්ගලීකරණය කිරීම:

දායකත්ව විශ්‍රාම වැටුප් ප්‍රවර්ධනය කරනවා වෙනුවට සාමූහික කේවල් කිරීමේ ගිවිසුම්වලට විශ්‍රාම ප්‍රතිලාභ ඇතුළත් කිරීම සඳහා රජය කම්කරු නීති ශක්තිමත් කළ යුතු අතර EPF සහ ETF ගෙවීම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සේවා යෝජකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

රජය සතු ව්‍යවසායන් (SOEs)

ජපානය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව වැනි සංවර්ධිත රාජ්‍යයන්ගේ අත්දැකීම්වලින් පැහැදිලි වන්නේ රාජ්‍යය සතු ව්‍යවසායයන් ආර්ථික වර්ධනයට නායකත්වය දුන් ආකාරයයි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යවසායන් අපගේ වත්කම් ලෙස සැලකිලිමත් විය යුතු අතර, රාජ්‍ය ව්‍යවසායයන් තුළ ඇති ගැටළු විසඳීම සඳහා අලුත් විදිහට හිතන්න අවශ්‍යයි. 

රාජ්‍යය සතු ව්‍යවසායයන් අපකීර්තියට පත් කිරීම:

රාජ්‍යය සතු ව්‍යවසායයන් පුද්ගලීකරනය නොකරන බවට රජය පවසන අතරම, “වාණිජත්වය”, පලදායිතාවය සහ “කළමනාකරණ නිදහස” ආදී වශයෙන් පුද්ගලික අංශය අතිශෝක්තියෙන් වර්ණනා කිරීම රාජ්‍ය අංශය අපකීර්තියට පත් කිරීමට සහ අනාගතයේදී ඒවා පුද්ගලීකරනය සාධාරණීකරණය කිරීමට  දායක වේ.

සැලසුම් සහගත ලෙස රාජ්‍යය සතු ව්‍යවසායයන් දේශපාලනීකරණය කිරීම හා ක්‍රමානුකූලව පහරදී ඒවා කඩා බිඳ දැමීම,  නොසලකා හැරීම:

දේශපාලන පත්වීම්, දූෂණ හා අපයෝජනයන් හේතුවෙන් රාජ්‍ය අංශයට අත්වී ඇති ඉරණම පිළිගෙන ඒවාට පිළියම් නොයොදා රාජ්‍ය අංශය තුල ක්‍රියාත්මක කරන ඕනෑම ආකාරයක ප්‍රතිසංස්කරණයක් පටු චේතනාවන් විසින් මෙහෙයවනු ලබන අතර ක්‍රමානුකූලව රාජ්‍යය අංශයට වසර ගණනාවක සිට කෙරෙන ප්‍රහාර වලට දායක වීම් වේ.

රාජ්‍ය ණය

රාජ්‍ය ණය ඉහළ යාම වැඩ කරන ජනතාව බරපතල ලෙස සලකයි.  

රාජ්‍යය වියදම් කප්පාදුව මිනිසුන්ට රිදවයි:

ණය ගෙවීම සඳහා මෙන්ම ණය ගැනීමේදී ඇති වන කොන්දේසි ලෙස රාජ්‍ය වියදම් සීමා කිරීම අපගේ වැඩකරන ජනතාවගේ සහ අනාගත පරම්පරාවේ මූලික මානව අයිතිවාසිකම්වලට හානි කරයි.

ණය ගිවිසුම් අසමාන සම්බධතා ඇති කරයි:

ගෙවීමට නොහැකි ණය නිසා ශ්‍රී ලංකා ජනතාවට ඉඩම්, ස්වාභාවික සම්පත් සහ වැදගත් වරාය සහ සාගර සම්පත් සඳහා ඇති අයිතිවාසිකම්වලට හානිකරයි. එමෙන්ම රටේ ස්වාධිපත්‍යයටද හානි කරයි.  

නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම:

ණය යනු කම්කරු නීති සංශෝධනය, ඉඩම් ප්‍රතිසංස්කරණ, ජලය භාණ්ඩකරණය හා කෘෂිකාර්මය නවීකරණය වැනි  වැඩ කරන ජනතාවගේ අවශ්‍යතාවන්ට හානිකාරී නවලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතික ආයතන භාවිතා කරන මෙවලමකි.

පුද්ගලික සමාගම් / පුද්ගලයින් සඳහා ලබා දී ඇති බදු සහන

රජය නම්‍යශීලී බදු ප්‍රතිපත්තියක් යෝජනා කරන අතර එවැනි ප්‍රතිපත්ති මඟින් ආයෝජන සහ ආර්ථික සංවර්ධනය සඳහා ව්‍යාපාරික පැලැන්තියේ ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙනු ඇතැයි උපකල්පනය කරමින් ධනවතුන් සහ ව්‍යාපාරික අංශය මත සඳහා වන සෘජු බදු අඩු කිරීමට උනන්දුවක් දක්වන බව අපි දනිමු. 

ධනය ඉහල සිට පහලට කාන්දු වෙනවා වෙනුවට බිම් මට්ටමේ ධනය ඉහලට උරා ගැනීම:

80% රාජ්‍ය බදු ධනවතුන්ගෙන් ලැබෙන බවට ඇති අයවැය ප්‍රකාශය අසත්‍යයක්. ශ්‍රී ලංකාවේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ සොච්චම් වැටුප් සහිත වැඩකරන ජනතාව විසින් ගෙවනු ලබන වක්‍ර බදු වලින් බව අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. වසර ගණනාවක් තිස්සේ රජය සෘජු බදු පිළිබඳ නම්‍යශීලී ප්‍රතිපත්තියක් හේතුවෙන් දුප්පත් වැඩකරන ජනතාව ක්‍රමක්‍රමයෙන් දුප්පත් වී ධනය ඇත්තන් වඩාත් ධනවත් වීමට හේතු වී තිබේ. ආදායම් කණ්ඩායම් අතර ඇති අසමානතාවය සිඝ්‍රයෙන් පුළුල් වීමට බදු සහන හේතු වී ඇත. 

නිකන් කන උපක්‍රමය:

රජය බදු සහන ව්‍යාපාරික පන්තියේ ආර්ථික ක්‍රියාශීලිත්වය ඉහළ නංවන බව ඇති මතයට රැවටුනාට පසු ගිය අත්දැකීම් වලින් පෙනෙන්නේ ව්‍යාපාරික පන්තිය දිගින් දිගටම නිකන් කමින් ඔවුන්ගේ අතිරේක ධනය අතිශය ලාභදායි බැංකු, මූල්‍ය හා ඉහළ ලාභදායී රක්ෂණ සහ දේපල වෙළඳාම් වැනි නිස්සාරණ අංශවල ආයෝජනය කරන බවයි.

සෘජු රාජ්‍යය ආයෝජන පෞද්ගලික අංශය ආකර්ෂණය කරයි:

පෞද්ගලික ආයෝජන පිළිබඳ ඇති දේශපාලන ආර්ථික සාහිත්‍යයෙන්ද පැහැදිලි වන්නේ ගුණාත්මක පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අඩු බදු/ බදු සහන ප්‍රමාණවත් නොවන බවයි. COVID-19 වෛරසයට එන්නතක් සොයා ගත් බව කියන ෆයිසර් ඖෂධ සමාගම 2011දී කෙන්ට් සිට බොස්ටන් වෙත සංක්‍රමණය වූයේ ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතන විසින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු හරහා දැනුම නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා කරන ලද රාජ්‍ය ආයෝජන ඉහළ මට්ටමක පැවතුන බැවිනි.

පුද්ගලික ආයෝජනවල අනිටු විපාක (Negative externalities):

පරිසර දූෂණය සහ ඉඩම් වැනි මිනිසුන්ගේ බැහැර කිරීම වැනි බදු සහන ගණනය නොකරන  නොකරන විශාල සමාජ පිරිවැයක් ඇත. හේලීස් සමාගම අනිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම  රතුපස්වල භූගත ජල දූෂණයට හේතු වූ අතර මිනුවන්ගොඩ බ්‍රන්ඩික්ස්  සමාගමේ නොසැලකිලිමත් ලෙස ලාභ අපේක්‍ෂා කරමින් කම්කරුවන්ගේ සෞඛ්‍යය අවදානමට ලක් කිරීම අතීත අත්දැකීම් ලෙස දැක්විය හැක.

රාජ්‍යය ආදායම් උත්පාදනය කිරීමේ සැලසුමක් නැත:

පුද්ගලික අංශයේ කැමැත්ත සහ ව්‍යාපාරික පන්ති අවශ්‍යතා සඳහා පක්ෂග්‍රාහී වීම රාජ්‍යය ආදායම අඩු වීමට බලපා ඇත. අත්‍යවශ්‍යය භාණ්ඩ සඳහා ආනයන තීරුබදු වැඩි කිරීම, වැට් බදු වැඩි කිරීම, NBT බද්ධ නැවත හඳුන්වාදීම වැනි ඉදිරියේ විය හැකි පශ්චාත් අයවැය තීරණ මගින් වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය තවත් පිරිහීමට ලක්වන අතර ඔවුන්ගේ ධනය හැකිලීමට දායක වේ.

ජාතික ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා වෙහෙසෙන වැඩකරන ජනතාව මේ මොහොත අත්පත් කරගත යුතුව තිබේ. පාලක පැලැන්තියේ ඕනෑ එපාකම් ප්‍රවර්ධණය කිරීමට සහයෝගය දෙනවාද,  ජාති ආගම් කුල මල ලෙස බෙදී කෙටවීමට ලක්වෙනවාද, නැත්නම් සහයෝගීතාවයෙන් එක්සත් වී, මධ්‍ය කාලීනව ධනේශ්වර විරෝධී අරගල ශක්තිමත් කිරීමට හා පෝෂණය කිරීමට සංවිධානය වනවාද යන්න දැන් වැඩකරන ජනතාව ඉදිරියේ ඇති තේරීම වේ. සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් මනෝරාජික යැයි කෙනෙකුට සිතිය හැකිය, කෙසේ වෙතත්, සමාජ දේශපාලන අරගල තුලින් දිනා ගත හැකි අනාගතය පිලිබඳ නැවත නැවත අවධාරණය කිරීම අඳුරු භයානක ඩිස්ටෝපියානු අනාගතය වැළැක්වීමේ එකම මාර්ගය ද වේ.

අමාලි වෙදගෙදර, කල්ප රාජපක්ෂ, චාමී බස්නායක, චින්තක රාජපක්ෂ, රමිඳු පෙරේරා

‘වැඩ කරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *