ගුණදාස අමරසේකර යනු 1950 දශකයෙහි ලංකාවෙහි සිටි ඉතා දීප්තිමත් ප්‍රතිසංස්කරණවාදියෙකි! – ලියනගේ අමරකීර්ති

ගුණදාස අමරසේකර මහා ලේඛකයෙකි. එසේ වන්නේ ඔහු අඛණ්ඩව ජීවිතයේ අනූවෙනි දශකය දක්වා ලියූ නිසා පමණක් නොවේ. ඔහු සිංහල කවියට, කෙටිකතාවට, නවකතාවට, කවිය පිළිබඳ විචාර කතිකාවට කළ දායකත්වය ඉමහත්ය. එසේම ඔහු ලංකාවේ සමාජ දේශපාලන සංවාදය සමග අඛණ්ඩව බැඳී සිටි ඓන්ද්‍රීය බුද්ධිමතෙකි. මෑත ඉතිහාසයෙහි සිදු වූ ප්‍රධාන දේශපාලන සිදුවීම් සියල්ලම ඔහු ඇසින් දුටුවේය. නිදහස ලැබීම, පනස්තුනේ හර්තාලය, පනස් හයේ පෙරළිය, හැත්තෑ එකේ කැරැල්ල, අසූ තුනේ කළබල, ඉන්දීය සාම සාධක මැදිහත්වීම, ජවිපෙ දෙවෙනි කැරැල්ල, යුද්ධයේ අවසානය ආදිය ඔහු අත්දැක්කේය.

ඒ ඇතැම් තැන්වල ඔහු න්‍යායධරයෙකු ලෙස ද සිටියේය. ජවිපෙ දෙවෙනි කැරැල්ලට න්‍යායික අනුග්‍රහය දැක්වීය. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කරන්නට අවශ්‍ය දෘෂ්ටිවාද සැකසීය. මෑතකදීම සභ්‍යත්ව රාජ්‍යය නම් පුස්තිකාව ලියමින් චීන ව්‍යාප්තවාදය වෙස් ගන්වන්නට තැත් කළේය. ඒ මහතාගේ ජීවිතයෙහිදී ඔහු අත්දකින අවසාන තීරණාත්මක දේශපාලන සංසිද්ධිය වනු ඇත්තේ ඇමරිකාව, චීනය සහ ඉන්දියාව අතර ඉන්දීය සාගර කලාපයෙහි බල අරගල වේදිකාවෙහි නාටකය නැරඹීම විය හැකිය. 

කහපාට ජනවාර්ගික අනන්‍යතාවකිනුත්, රතුපාට රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයකිනුත් යුතුව චීනය වෙතින් ලෝකය පුරා පැතිරෙන්නේ බටහිර ධනවාදයට හා පරිභෝජනවාදයට කිසිම විකල්පයක් නොවූ ධනවාදයක් ම බව බොහෝ දෙනෙකු විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. 

චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වීමත්, ඔවුන් ඉතා දරුණු පරිභෝජනවාදයකට ගොදුරු වීමත් නිසා ලෝකයම විනාශ කරන තත්ත්වයක් ඇති විය හැකි බව අනතුරු අඟවනු ලැබ තිබේ. ඒ අතින් එය ඇමරිකානු පරිභෝජනවාදයෙන් කිසිසේත්ම වෙනස් නැත. China Goes, So Goes the World: How Chinese Consumers are Transforming the World   නම් කෘතියේදී මහාචාර්ය කාර්ල් ගර්ත් එය මැනවින් පෙන්වා දුන්නේය. එවැනි පොත් රැසක් මෑතකදීත් ලියවිණි.

එහෙත් අමරසේකරට පෙනුණේ බටහිරට විකල්ප වූ සභ්‍යත්වය චීනය විසින් ගෙන එනු ලබන බවයි. ඒ ඔස්සේ අපටද එවන් සභ්‍යත්ව රාජ්‍යයක් සකසා ගත හැකි යැයි ඔහු සිතුවේය. මෙය දරුණු වරදක් බව අත්දැකීමෙන්ම දකින්නට තරම් කාලයක් අමරසේකර මහතාට ජීවත්වීමට ලැබේවාය යන්න මගේ පැතුමය. මනුෂ්‍යයා පරිභෝජනවාදයෙහි ගිල්වන සියලු සමාගම් සෘජුව සහ වක්‍රව චීනයට රිංගා අවසානය. ඒ සමාගම් සියල්ල බටහිරට අයත් ඒවාම නොවේ.චීනය පිටුපසින් ඇත්තේ ධනවාදය සහ පරිභෝජනවාදය නොව වෙනම සභ්‍යත්ව රාජ්‍යයක් බවත්, එයින් විකල්ප සමාජ සැකැස්මක් පිණිස අපටද ආභාසය ලැබිය හැකි බවත් අමරසේකර මහතාට පෙනෙන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අප රට ඉතිහාසයේ තරමක් පිටුපසට යා යුතුය. ඒ නිසාම අමරසේකර මහතාගේ ජීවිතයෙහිද දශක කිහිපයක් පසුපසට යා යුතුය.

“අනුකාරකයන්”

1950 දශකයෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිත බුද්ධිමය උද්දාමයක් පැවතියේය. එය ශාස්ත්‍රීය සේම කලාත්මක පුනරුදයක්ද ඇති කළේය. කවිය, කෙටිකතාව, නවකතාව, නාට්‍යය යන කලා මාධ්‍ය පමණක් නොව ශාස්ත්‍රීය පර්යේෂණය යන සියලු ක්ෂේත්‍රවල ප්‍රබෝධයක් ඇති විය. ඒ ප්‍රබෝධයෙහි කේන්ද්‍රයෙහි සිටි ප්‍රතිභාසම්පන්න තරුණ සාහිත්‍යකරුවන් අතර ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ වැනි අයද වූහ. ඒ අතර සිටි වඩාත්ම ප්‍රතිභා සම්පන්න තරුණ නිර්මාණකරුවා අමරසේකර යැයි පෙනේ. ඒ ශාස්ත්‍රීය-නිර්මාණාත්මක ප්‍රබෝධයෙහි කේන්ද්‍රයෙහි සිටි ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ වඩාත්ම හිතවත් අනුග්‍රාහකයා වූයේ තරුණ අමරසේකර වූ බවද පෙනේ. 

පේරාදෙණියෙහිදී ඇති වූ සාහිත්‍ය ප්‍රබෝධයෙහි එක් අංගයක් වූ නිදහස් කවියෙහි පැන නැගීමය. නිදහස් කවිය පහළ වූ පසු එහි එක් රමණීය ධාරාවක් අමරසේකර නිසා ඇති විය. භාවගීත (1955)  කාව්‍ය සංග්‍රහයෙහි පෙනෙන්නේ ඒ ලක්ෂණයි. ඒවා නිදහස් කවි වුවද “නිසඳැස්” ධාරාවට අයත් නොවේ. අදත් හඬ නගා කියවන කල සිංහල කාව්‍යාවලියෙහි ඇති ඉතා මිහිරි වාග් රිද්ම ධාරාවක් අප සවනට ඇසෙන කවි භාවගීතයෙහි ඇතුළත් වේ. එයින් දෙවසරකට පසු උයනක හිඳ ලියූ කවි (1957) කාව්‍ය සංග්‍රහය පළ විය. එහි එන ඇතැම් කවිවලින් ඔහු නිදහස් කවියෙහි නිසඳැස් ධාරාව වෙතද යන බව පෙනේ. එනම් යම් තාලයක් සහිතව කියවන්නට ඉඩ නොදෙන නිසඳැස් කවි ලක්ෂණ එහි ඇත. එනම් ඔහු යුරෝපීය නූතනවාදී පර්යේෂණකාමය සම්පූර්ණයෙන් අත් හරින්නේ නැත.

සිරි ගුනසිංහ වැනි අය නියෝජනය කළ පර්යේෂණකාමී නූතනවාදය සමගද අමරසේකර ගනුදෙනු කරයි. එනම් ගතානුගතික කාව්‍ය සම්ප්‍රදායෙන් බිඳී, ඒ සම්ප්‍රදාය විවාදයට කැඳවන සාහිත්‍ය ධාරාවක් වූ බටහිර නූතනවාදය සමග අමරසේකරද සිටියේය. 

එහෙත් 1961 දී අමල්බිසෝ කෘතියද 1962 දී ගුරුළුවත කෘතියද ලියන විට දේශීය කාව්‍ය සම්ප්‍රදාය සොයා යා යුතු යැයි කියමින් අමරසේකර දේශීයත්වය සොයා යන්නට විය. එතෙක් පෙරදිග සහ බටහිර සාහිත්‍ය ලෝක සමග නිදහසේ ගනුදෙනු කළ අමරසේකර විසිවෙනි සියවසේ මැද තමන් සමගම පර්යේෂණාත්මක සාහිත්‍ය කටයුතුවල නියැලී සිටි ආචාර්ය සිරි ගුනසිංහ වැනි අයට සෘජුව සහ වක්‍රව පහර දෙමින් දේශීයත්වය සොයා යන්නට වූයේය.

ඒත් සමගම ඔහු බටහිර නූතනවාදයේ ආභාසෙයන් ලියූ නවකතාද මනස් පුතුන් යැයි අත්හැර දමමින් සමාජමය වශයෙන් අර්ථවත් වූ සාහිත්‍යයක් සොයා ගියේය. ඒ සොයා යාමේදී සිංහල භාෂාවෙන් එතෙක් මෙතෙක් ලිය වුණු විශිෂ්ටතම කෙටිකතා මාලාවක් ලියවිණි. එකම කතාව (1969), එක්ටැමෙන් පොළොවට (1972), කතා පහක් (1975) කතා සංග්‍රහවල පශ්චාත් යටත් විජිත ලංකාවේ සමාජ ඉරණම විදහා දක්වන චරිත මාලාවක් අමරසේකරගේ කතාවලට හසු විය. බටහිර අධ්‍යාපනයත්, ධනේශ්වර පරිභෝජනයත්, දේශීය සංස්කෘතියත් අතර නොයෙක් අතර ඇදෙන, මැඩෙන, නූතන සිංහලයාගේ මනස් අභ්‍යන්තරය මේ කතාවලට හසු වෙයි.

එහෙත් අමරසේකර පේරදෙණියෙහි පර්යේෂණකාමී නූතනවාදීන් වෙත පහර එල්ල කිරීම දිගටම කළේය. ඔහු ඔවුන් හැඳින් වූයේ “අනුකාරකයන්” යන උපහාස වදනිනි. ඔහු එයින් අදහස් කළේ බටහිර අනුකාරකයින් යන්නය. පර්යේෂණකාමීන්ට අනුකාරකයින් යැයි චෝදනා කරන අතරම දේශීයත්වය, සම්ප්‍රදාය, ජාතිකත්වය ආදී සංකල්ප මාලාවක්ද ඔහුගේ විෂය ලෝකයට එක් විය. ඒ සිරි ගුනසිංහ වැනි නූතනවාදීන්ට අනුකාරකයින් යැයි පහර දීම 70 දශකය වන විට අමරසේකරගේ නිරන්තර පුරුද්දක් බව පෙනේ.

1974 සාහිත්‍ය දින විශේෂ කලාපයට “අනාගත සිංහල කවිය” නමින් ලිපියක් ලියන ඔහු අනුකාරකයන් යන වචන කිහිප වරක් යොදමින් සිරි ගුනසිංහගේ කවියට පහර දෙයි. නිදහස් ලංකාවේ සිංහලත්වය යනු විවිධ මූලාශ්‍රවලින් එළිය ලබා පොහොසත් විය යුතු දෙයක් යැයි කියන සංස්කෘතික විවෘතභාවය ප්‍රකාශයට පත් කරන්නට අමරසේකරට හැකි වූයේ නැත. 

බටහිර ගැත්තන්

බටහිර අනුකාරකයන් යැයි නූතනවාදීන්ට පහර දීම පශ්චාත් යටත් විජිත රටවල නිතර දැකිය හැකි ලක්ෂණයකි. යටත්විජිතවාදියාගේ සංස්කෘතිය නිදහසින් පසුවත් තමන්ගේ සංස්කෘතිය මත ආධිපත්‍යය දරන්නේය යන සාංකාව යථාර්ථයක් බැවිනි. අනෙක, පශ්චාත් යටත් විජිත දේශපාලනඥයාත් බටහිර විරෝධය දේශපාලන සටන්පාඨයක් සේ භාවිත කරයි.

1956 වසරින් පසු සිංහල භාෂාවෙන් පමණක් උගත් පරම්පරාව සමාජයෙහි බලවත් ස්ථාන අත්පත් කරගන්නා නිසා අමරසේකර වැනි අය ද්වීභාෂික-පර්යේෂණකාමීන්ට, නව චින්තකයන්ට අනුකාරකයන් යැයි පහර දීම අර ස්වභාෂික පරම්පරාවට ආස්වාදයක්ද වූයේය. අසූව දශකය වන විට අමරසේකර ඒ පරම්පරාවේ චින්තනමය වීරයා බවට පත් විය.

ඒ අතර කොටි සංවිධානයද, දෙමළ බෙදුම්වාදයද නැග ආ නිසා සිංහල සංස්කෘතිය තුළ සිටි ප්‍රතිසංස්කරණවාදීන් හුදෙක් අනුකාරකයන් පමණක් නොව, “බටහිර ගැත්තන්,” “ඩොලර් කාක්කන්,” “එන්ජීඕකාරයන්” යැයි නාමකරණය කෙරිණි. 

ගුණදාස අමරසේකර යනු 1950 දශකයෙහි ලංකාවෙහි සිටි ඉතා දීප්තිමත් ප්‍රතිසංස්කරණවාදියෙකි; සංස්කෘතික සංස්කරණවාදියෙකි. සිරි ගුනසිංහ වැනි අය ඒ ප්‍රතිසංස්කරණවාදය කෙළින්ම ප්‍රකාශ කළ අතර මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි අය දේශජ ස්වරූපයකින් වක්‍රව එයම ප්‍රකාශ කළහ. නිදහස් ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන්ට තිබිය යුතු බුද්ධිමය ඉඩහසර මනමෙ නාට්‍යයෙන්ද ඉල්ලා සිටින අතර පියවරුන්ගේ දෘෂ්ටිවාදී ගල් ගුහාවේ පුතුන්ද සිරවිය සිටිය යුතුදැයි සිංහබාහු නාට්‍යයෙන් ඇසෙයි. ඒ වූකලි පේරාදෙණිය කේන්ද්‍රකරගත් ප්‍රතිසංස්කරණවාදී ප්‍රවේශයයි. එහි එක් ධාරාවක් වූ නූතනවාදී ධාරාවට අනුකාරකයන් යැයි පහර දුන් අමරසේකර පසු කලෙක සියලු සමාජ ප්‍රතිසංස්කරණවාදී චින්තනය, අනුකාරකත්වය යටතට දැම්මේය.

ලංකාවේ සමාජ-දේශපාලන ප්‍රශ්න මත යැපෙන රාජ්‍ය නොවන සංවිධානය පවතින බව ඇත්තකි. එහෙත් අනූව දශකය වන විට සිංහල සංස්කෘතිය අභ්‍යන්තරයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතු නොවේදැයි අසන චින්තකයන්, කලාකරුවන් සියලු දෙනාම “එන්ජීඕකාරයන් ”යැයි හඳුන්වන තැනට අමරසේකර පිරිහිණි. සිංහල කාව්‍ය සම්ප්‍රදාය වැනි වැදගත් පොතක පවා එන්ජීඕකාරයන් වැනි යෙදුම් දැකිය හැකිය. ඔහුගේ අනුකාරකයෝ එන්ජීඕකාරයා හෝ ඩොලර් කාක්කා වැනි යෙදුම් අද යොදන්නේ ඕනෑම ප්‍රතිසංස්කරණවාදියෙකු හැඳින්වීමටය! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කිරීම පවා ඩොලර් කාක්කන්ගේ වැඩක් යැයි ඇතැම් පුවත්පත්වල ලියවේ! 

ඊටත් වඩා දරුණු හානියක් අමරසේකරගේ ම සාහිත්‍යට සිදු විය. ඔහුගේ මෑත කාලීන ප්‍රබන්ධ කතා කිහිපයකම චරිත නිරූපණයටද අනුකාරකයා, බටහිර ගැත්තා, ඩොලර් කාක්කා වැනි සංකල්ප බලපා තිබේ. ඇතැම් කතාවල සිටින නිදහස්කාමී වූද, ලංකා සමාජය ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි සිතන්නා වූද චරිත එවැනි චින්තකයන් වී ඇත්තේ ඩොලර් නිසාය! නැත්නම් බටහිර කුමන්ත්‍රණයක කොටස්කරුවන් නිසාය. ඒ කතුවරයාට ලෝකය පෙනෙන හැටිය.

ජාතික-විජාතික වශයෙන් දෙකට බෙදුණු- දෙකටම පමණක් බෙදුණු-ලෝකයක මහා සාහිත්‍යකරුවෙකු සිරවීමෙන් ඔහුගේ සාහිත්‍යය ඉතා කුඩා විය. සිංහල-බෞද්ධයන් තුළ තමන් වෙතම එල්ල වූ ආචාරධාර්මික විචාරයක් සක්‍රීව පවත්වාගෙන යාම සිංහල බසින් ලියන සාහිත්‍යකරුවාගේ කාර්යකි. බාහිරින් එන අධිරාජ්‍යවාදී බලවේග ගැන පමණක් විචාරශීලී වීම ප්‍රමාණවත් නැත. ප්‍රජාවක් ඉදිරියට යන්නේ අනෙකාද තමාද දෙදෙනාම වෙත එල්ල වූ සක්‍රීය විචාරාක්ෂියක් නිරන්තරයෙන් පවතින විටය. අද ජනප්‍රිය කතිකාව වී ඇත්තේ පුවත්පතේද, ටෙලිවිෂන් වැඩ සටහනේද, ටියුෂන් පන්තියේද බටහිරට බැණ අඩගසන්නාය. අමරසේකර නම් බටහිර හොඳම සාහිත්‍ය කලාවලින් සාරය උකහා ගත්තෙකි. අර ජනප්‍රිය බටහිර විරෝධියාට ඒ සාරයද අහිමිය. 

ඉන්දියානු මහාකවි රවීන්ද්‍රනාත් තාගෝර් විසල් මනසක් ඇත්තෙක් විය. ඔහු මෙසේ කීවේය: “අපේ මුතුන් මිත්තන් අවුරුදු තුන්දාහකට පෙර විශ්වයෙන් ලබාගත හැකිව තිබූ සියලු වටිනාකම් ලබාගෙන අවසාන යැයි සිතීම වටිනා සිතිවිල්ලක් නොවේ. අපද විශ්වයද එසේ සිතන්නට තරම් දුප්පත් නැත. මනුෂ්‍යයන් කළ යුතුව තිබූ සියලු දේ අතීතයේදී කර අවසාන වී තිබේය යන සිතිවිල්ල නිවැරදි නම් අප තව දුරටත් පැවතීම පෘථිවිය මත පටවන ලද බරකි.”(සිතිවිලි සිතිජය- ලියනගේ අමරකීර්ති). මේ වූකලි තනි සම්ප්‍රදායක් තුළ සියලු ප්‍රඥා සාරය ඇතැයි ගන්නා ජනතාවකට කළ අනතුරු ඇඟවීමකි.

නොයෙක් තැනින් එන ඥාන සංවේදීතාවට විවෘත නොවී කිසිම ප්‍රජාවකට ඉදිරි ගමනක් නැත. අපට අවශ්‍ය සියලු දේ අපේ සම්ප්‍රදායෙන්ම උකහා ගත හැකි යැයි සිතීම දරුණු දුගීභාවයකි. අමරසේකරට එහිදී තාගෝර්ගේ වැනි විසල් මනසක් තිබුණේ නැත. 

අමරසේකර පේරාදෙණිය ආශ්‍රිත නූතනවාදය තුළ වූ ප්‍රතිසංස්කරණ විභවතාව වෙතින් කැඩී එවන් ප්‍රතිසංස්කරණවාද අනුකාරකත්වය යැයි හඳුන්වන්නට පටන්ගත් තැන් පටන් කළ වරදක් නම් අධිරාජ්‍යවාදය යන්න සුද්දා සමගත්, බටහිර සමගත් අනන්‍ය කිරීමය. අද අධිරාජ්‍යවාදය කහපාට සමක් ඇති නිර්-බටහිරකින් එන විට නොපෙනී යන්නේ ඒ නිසාය. එය අලුත් සභ්‍යත්වයක් යැයි කියන්නට අමරසේකරට සිදුවන්නේ ඒ නිසාය.

ගුණදාස අමරසේකරගේ බුද්ධිමය දායකත්වය විචාරාත්මකව වටහා නොගෙන කටපාඩම් කරගෙන අනුකරණය කරන්නට තැත් කරන පරම්පරාවකට ලංකාව වෙනුවෙන් කළ හැකි සාධනීය වූ කිසිවක් නැත. “අනුකාරකත්වය” යනු සංකල්පමය වශයෙන්ම වැරදි නම් බටහිර අනුකරණය කිරීම පමණක් නොව ඉතා සීමාසහිත ජාතිකවාදයක් අනුකරණය කිරීම වුවද වැරදිය. අප මහා කවි අමරසේකර ඒ කරුණ මැනවින් දනියි. 

https://amarakeerthi.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *